දැන් තියෙන්නේ Bull Run එකක්. රැල්ලට යන්න එපා – ගොඩහේවා කොටස් වෙළෙඳපොළ ගැන කියයි

    October, 26, 2021

    වර්තමානයේ කොටස් වෙළෙඳපොළ තුල දක්නට ඇත්තේ Bull Run තත්ත්වයක් බවත්, එහිදී මේ පිළිබඳ දැනුමක් නැති අය පවා ආයෝජනයට පෙළඹීමෙන් රැල්ලක් ඇතිවිය හැකි බවත් නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි. අද (26) පෙරවරුවේ අද දෙරණ 24 ඔස්සේ විකාශය වූ Big Focus සජීවී සංවාදාත්මක වැඩසටහන සමඟ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ගොඩහේවා මහතා පැවසුවේ කොටස් වෙළෙඳපොළ ඉහළ ප්‍රතිලාභ ලැබිය හැකි තැනක් මෙන්ම අවදානම් සහගත ආයෝජනයක් ද බවයි. ආචාර්ය නාලක ගොඩහේවා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ හිටපු සභාපතිවරයෙක් ද වේ.

    මෙහිදී අදහස් දැක්වූ නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා,

    “2014 වන විට මම සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළේ. මම සභාපතිවරයා වශයෙන් කටයුතු කළ 2012 - 2014 කාලය තුළ කොටස් වෙළෙඳපොළේ සියයට 350 ක පමණ වර්ධනයක් ඇති වුණා. 2014 දෙසැම්බර් වෙනකොට සමස්ත මිල දර්ශකය ඒකක 7,200 මට්ටමට ඇවිල්ලා තිබුණා. අපිට සම්මානයක් ලැබිලා තිබුණා, ආසියාවේ තිරසාරම කොටස් වෙළෙඳපොළ කියලා. ඒ වෙලාවේ ඒක සිදුවුණේ ආර්ථික වර්ධනයට සාපේක්ෂව. ඊට පස්සේ ඉතුරු අවුරුදු පහේ කොටස් වෙළෙඳපොළ කඩාවැටීමකට ලක්වුණා. ඉහළ ගිය මිල දර්ශකය කඩා වැටිලා කොටස් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය මට මතක හැටියට ඩොලර් බිලියන 25 සිට 15 දක්වා කඩා වැටුණා. ඒ කියන්නේ කොටස්වල වෙළෙඳපළේ අගය කඩා වැටුණා.“

    “දැන් කොටස් වෙළෙඳපොළ ගැන දැනුමක් තිබෙන අය තිබෙන අවස්ථාව දැකලා තියෙනවා. මේ අඩුවෙච්ච මිලෙන් ප්‍රයෝජනයක් ගන්න. එතකොට කොටස් වෙළෙඳපොළට ආයෝජකයෝ ඇවිල්ලා ආයෝජනය කරන්න පටන් ගත්තාම තව දෙයක් සිද්ධ වෙනවා. කොටස් වෙළෙඳපොළේ නිරායාසයෙන්ම සිද්ධ වෙන දෙයක් තමයි සමහර අය ඇවිල්ලා මුදල් උපයනවා දැක්කාම පිටිපස්සෙන් එනවා රැල්ලක්. ඒ කියන්නේ කොටස් වෙළෙඳපොළ ගැන ලොකු දැනුමක් නැති අයත් ඇවිල්ලා ආයෝජනය කරන්න පටන් ගන්නවා. ඒක ස්වභාවිකව ලෝකේ හැම රටකම සිදුවෙනවා. ඒක තමයි Bull Run කියලා කියන්නේ. දැන් ඇවිල්ලා තියෙන්නේ Bull Run එකක්. ආයෝජකයෝ ආවා අවස්ථාවක් දැකලා, ඒ අය පස්සෙන් තවත් අය ආවා. දැන් මේක රැල්ලකට යන්න පටන් අරන් තියෙනවා. මේකේ යම්කිසි වෙලාවක බුබුලක් හැදෙනවා. මම හිතන්නේ තාම ඒ බුබුල හැදිලා නැතුව ඇති. දිගටම මේක ගියොත් බුබුලක් ඇතිවෙනවා.“

    “හැබැයි එක හොඳ දෙයක් සිද්ධ වෙමින් පවතිනවා. කොටස් වෙළෙඳපොළය අලුතෙන් සමාගම් එකතු වෙනවා. අලුතෙන් ලැයිස්තුගත වෙනවා. එතකොට මේ ප්‍රශ්නය යම් දුරකට සමනය වෙනවා. මොකද මේ ආයෝජනවලට බෙදී යන්න අවස්ථාවක් ලැබෙන නිසා. මම විශේෂයෙන්ම කොටස් වෙලෙඳපොළේ ආයෝජනය කරන තරුණ තරුණියන්ට කියනවා මේ රැල්ලට අහුවෙලා, කවුරු හරි කරන දේ විතරක් බලාගෙන කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කරන්න එපා. කොටස් වෙළෙඳපොළ කියන්නේ හොඳ ආදායමක් ලබන්න පුළුවන්, හොඳ ප්‍රතිලාභ ලබන්න පුළුවන් තැනක් වගේම අවදානම් සහගත ආයෝජනයක්. දැන් රැල්ලක් තියෙනවා. බුබුලක් හැදිලා නැහැ. ඒ කියන්නේ මේක පිම්බිලා වටිනාකම ඉක්මවා ගියාම පුපුරනවා.“