දිරිය කතුන් සවිබල ගන්වන ‘සියක් දෑතට සවියක්’

    July, 12, 2018

    වසරින් වසර රස්සාවක් සොයාගෙන විදෙස්ගත වෙන පිරිස වැඩි වෙලා. මේවන විට ඒ විදියට රට හැර ගිය පිරිස මිලියන තුන ඉක්මවනවා. ඒ අතරිනුත් වැඩි පිරිසක් රට හැර ගොස් තිබෙන්නේ ගෘහ සේවය සඳහායි. ඒ පිරිසගෙන් 35%කට අධික පිරිසක් කාන්තාවන් වීම විශේෂත්වයක්.

    පවුල් සංස්ථාව අනතුරේ

    විශේෂයෙන් අපි වගේ රටක පවුලේ කේන්ද්‍රය අම්මා. නමුත් අම්මාවරුන් තමන්ගේ පවුල අතහැර දුරු රටකට ගමන් කරන්නේ අගහිඟකම්වලින් හොඳටම හෙම්බත් වූ පසුවයි. කොහොම නමුත් ඔවුන් මෙලෙස විදෙස්ගත වීමෙන් අපේක්ෂිත අරමුණු ඉටු වෙනවාද යන්න සලකා බැලිය යුතු වෙනවා. අම්මා රටහැර ගිය පසු දරුවන් අවස්ථාවාදීන්ගේ ඕනෑ එපාකම්වලට වන්දි ගෙවන අවස්ථාත් අපට ඕනෑ තරම් අසන්නට-දකින්නට ලැබෙනවා. දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම, ඔවුන් අපයෝජනයට ලක්වීම, නරක මිතුරන් ආශ්‍රය නිසා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම වගේ අවාසනාවන්ත තත්ත්වයන්ට පත්වන්නේ පවුලේ හැම බලාපොරොත්තුවක් ම කඩ කරමින්.

    කදිම විසඳුම්

    මේ රටේ හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ කීර්තිමත් නාමයක්වන සෙලීන් ආයතනය සහ LIFE Consultancy ආයතනය එක්ව 'සියක් දෑතට සවියක්' වැඩසටහන දියත් කරන්නේ, ඉහත සඳහන් කරපු ආකාරයට තම ආදරණීයයන් හැරදමා ආගන්තුක රටකට ගමන් කිරීමෙන් තොරව මේ රටේ ම හිඳිමින් ඉතා හොඳ මාසික ආදායමක් උපයා ගන්න පුළුවන් ක්‍රමයක් මේ රටේ කාන්තාවන්ට උරුමකර දෙන්නයි. මෙම වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කාන්තාවන් සිය දෙනෙකුට සෙලීන් ආයතනය සමග සම්බන්ධ වෙලා ඇඟළුම් නිෂ්පාදනයේ නිරත වෙන්න අවස්ථාව උදාවී තිබෙනවා.

    "විදෙස් රැකියාවලට ගොස් නැවත මෙරටට පැමිණ සිටින කාන්තාවන් මෙන්ම රට යාමේ අවශ්‍යතාව පැවතියත් විවිධ හේතු මත විදෙස්ගත වීමට නොහැකි කාන්තාවන් ඉලක්ක කර ගනිමින් අප මෙම වැඩසටහන දියත් කරනවා. ඇඟළුම් ක්ෂේත්‍රයේ නිරත කීර්තිමත් සමාගමක්වන සෙලීන් ආයතනය සමග අප අත්වැල් බැඳ ගත්තේ එම ආයතනයට ඇඟළුම් ක්ෂේත්‍රය සම්බන්ධව මනා පළපුරුද්දක් සහ කාන්තාවන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමේ හැකියාවක් පවතින නිසයි" යනුවෙන් LIFE Consultancy ආයතනයේ මෙහෙයුම් කළමනාකාර සුබෝධ මලවරආරච්චි මහතා සඳහන් කළේය.

    වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?

    කලින් සඳහන් කළ ආකාරයට මේ වැඩසටහන යටතේ කාන්තාවන් සිය දෙනෙකුට සෙලීන් ආයතනය සමග සම්බන්ධ වෙලා මැහුම් කටයුතු ආරම්භ කරන්න පුළුවන්. පළමු අදියර විදියට මහන්න හොඳින් දන්නා කාන්තාවන් හඳුනා ගන්නවා. මහන්න දන්නේ නැති කාන්තාවන් අපේක්ෂිත මට්ටමට එනතුරු ඒ අයට අවශ්‍ය පුහුණුව සෙලීන් ආයතනය ලබා දෙනවා. සෙලීන් ආයතනයට ඇවිත් හෝ නිවසේ සිටම හෝ මැහුම් කටයුතු කරන්න පුළුවන්. සියලු අමුද්‍රව්‍ය සෙලීන් ආයතනය ලබාදෙනවා වගේම මැහුම් කටයුතු අවසන් කරපු රෙදිපිළි සෙලීන් ආයතනය ම මිලදී ගන්නවා.

    මේ වැඩසටහනේ විශේෂත්වය මොකක්ද?

    සියක් දෑතට සවියක් වැඩසටහනේ මූලික අරමුණ පවුල් සංස්ථාව බිඳ වැටෙන්නට නොදී කාන්තාවන්ගේ අතමිට සරු කරන එකයි. ඒ වගේම, මේ වැඩසටහන යටතේ සෙලීන්  ආයතනයට පැමිණෙන කාන්තාවන්ට සම්ප්‍රදායික ක්‍රමවේදයෙන් බැහැරව වැඩි මානුෂීය ක්‍රමවේදයන් හඳුන්වා දී තිබෙනවා. ඒ අරමුණ පෙරදැරිව, කිරිදෙන මවුවරුන්ට ඒ සඳහා වෙනම ස්ථානයක් ද, බිරිඳ තමන් නිවසේ සිට සාදා නිම කරන ලද අත්කම් නිමැවුම් සෙලින් ආයතනයට ගෙනවිත් බාරදීමේ කටයුතු සිදුකරන අවස්ථාවේදී ස්වාමි පුරුෂයන්ට රැඳී සිටින්න වෙනම ස්ථානයක් ද LIFE ආයතනය සෙලීන් පරිශ්‍රයේ ගොඩනගා තිබෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ නෙල්ලිය ග්‍රාමයේ ක්‍රියාත්මකවන සෙලීන් හස්ත කර්මාන්ත ශාලාවේ දිවා සුරැකුම් මධ්‍යස්ථානය මගින් පාසල් යන වයසේ පසුවන දරුවන් හට එහි රැඳී සිටිමින් පාසලේ පැවරුම් වැඩ කිරීමටත්, පොත්පත් කියවන්නත් අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා. ඒ අනුව, පවුලේ සාමාජිකයන් සියලු දෙනා හැමවිටම එකම ස්ථානයක රඳවා තබා ගන්න පුළුවන් වෙනවා.

    "මේ කාන්තාවන්ගෙන් වැඩි දෙනෙක් තමන්ගේ පවුලේ බර කරට අරගෙන කටයුතු කරන අය. එම නිසා අප ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම හා කුසලතා, මුදල් කළමනාකරණය, ජීවිතය ගොඩනගා ගැනීම පිළිබඳ උපදෙස් සහ නායකත්ව කුසලතා ද ඔවුන් තුළ ඇති කිරීමට අප කටයුතු කරනවා. කුරුණෑගල මාස්පොත ප්‍රදේශයේ නිවෙස්වලට ගොස් එම කාන්තාවන්ගේ තත්ත්වය පරික්ෂා කිරීමට ද අප කටයුතු කළා" යනුවෙන් Life Consultancy ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී නීතිඥ අනුරාධි නවරත්න මහත්මිය ප්‍රකාශ කළාය. ඇය වැඩිදුරටත් අවධාරණය කළේ, ගෘහ සේවයට යන කාන්තාවන්ට උපරිම වශයෙන් රු. 40,000ක පමණ මුදලක් හිමිවන බවත්, ඒ වෙනුවෙන් ඔවුන්ට තමන්ගේ දරුවන්ගේ අනාගතය ද අවදානමේ හෙළීමට සිදුවන බවත්ය. "මෙම වැඩසටහන සමග සම්බන්ධ වීමෙන් පූර්ණ කාලීනව මැහුම් කටයුතුවල නිරත නොවූවත් රු. 15,000-20,000 අතර මාසික ආදායමක් උපයා ගන්න පුළුවන්. සියක් දෑතට සවියක් වැඩසටහන පසුගිය අප්‍රේල් මසදී අවසන් වුවත් කාන්තාවන්ට දිගින් දිගටම සෙලීන් ආයතනය සමග කටයුතු කරමින් හොඳ ආදායමක් උපයා ගන්න පුළුවන්. කාන්තාවන් ඔවුන්ගේ දුප්පත්කමට එරෙහිව සටන් කිරීමට සහ ඔවුන්ගේ හා ඔවුනගේ ප්‍රජාවගේ ජීවිත ගොඩනැංවීමට නම් එම කාන්තාවන් ගොඩනැංවීම සඳහා දිරිගැන්වීම සහ ඔවුන්ට සහයෝගය දැක්වීම කළ යුතු බව ඇමරිකා එක්සත් ජනපදය දැඩිව විශ්වාස කරන බව මෙම වැඩසටහන සඳහා මුල්‍ය අනුග්‍රහය ලබාදුන් ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද කාර්යාලය සඳහන් කරනවා" යනුවෙන් ඇය පැවසුවාය.

    ඒ වගේම, සියක් දෑතට සවියක් වැඩසටහනට තෝරාගත් කාන්තාවන්ට මැහුම් කටයුතුවලට අවශ්‍ය දැනුම ලබාදීමට අමතරව තවත් වැඩසටහන් රැසක් මගින් ඔවුන් නගාසිටුවීමටත් කටයුතු කළා. ඒ යටතේ මානව හැකියා සංවර්ධන පුහුණු උපදේශක සහ මනෝවිද්‍යා දේශක මොහාන් පල්ලියගුරු මහතා විසින් මෙයවන ලද ජීවිතය වෙනස් කරන අදහස් රැගත් 'ජීවිතයේ සතුට සොයා' නායකත්ව පුහුණු වැඩසටහන, සණස සංවර්ධන බැංකුව සමග එක්ව මෙහෙයවන ලද 'මුදල් කළමනාකරණ' වැඩසටහන මගින් පවුල් සංස්ථාවේ දියුණුව සඳහා මුදල් භාවිත කළ යුතු ආකාරය පිළිබඳ වැඩසටහන ඉතා සාර්ථකව කුරුණෑගලදී ක්‍රියාත්මක කළා. එමෙන්ම, තෝරාගත් කාන්තාවන් නියෝජනයවන පවුලේ දරුවන් සහ අසල්වාසීන්ගේ මානසික සෞඛ්‍යය ඉහළ නැංවීමේ අරමුණෙන් ලෝක සෞඛ්‍ය දිනය යෙදුනු පසුගිය අප්‍රේල් මස 07 වැනිදා කුරුණෑගල ඉබ්බාගමුව වෙල්ගාල විද්‍යාලයේ දරුවන්ට සහ දෙමාපියන්ට 'සුරකිමු අප නිරතුරු-අපේ පවුල රත්තරං' සමාජ සත්කාරක වැඩසටහන යටතේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සහ පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සහ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මනෝ සමාජීය ඒකකය සමග එක්ව දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව දරුවන් සහ දෙමාපියන් දැනුවත් කිරීමේ එක්දින වැඩසටහනක් ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක කළා. එමෙන්ම මෙම සියක් දෑතට සවියක් වැඩසටහනට තවදුරටත් එක්වීමට කැමති කුරුණෑගල දිස්ත්‍රික්කයේ කාන්තාවන් දැනුවත් කිරීමේ අරමුණින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මනෝ සමාජීය ඒකකය සමග එක්ව කුරුණෑගල දිස්ත්‍රික් කාන්තා බලමණ්ඩලවල නායිකාවන් වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පැවැත්වීමට හැකිවීම මෙම ව්‍යාපෘතියේ තවත් වැදගත් කටයුත්තක් බව සඳහන් කළ හැකියි.

    රට රැකියාවලට යන එක ප්‍රශ්නවලට තියෙන එකම විසඳුම් නෙවෙයි. ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය මගින් ලබාදුන් මුල්‍ය දායකත්වය යටතේ සෙලින් එක්ස්පෝර්ට් ප්‍රයිවට් ලිමිටඩ්හි සහයෝගයෙන් LIFE Consultancy ආයතනය මගින් සම්බන්ධීකරණය කර ක්‍රියාත්මක කරන ලද 'සියක් දෑතට සවියක්' වැඩසටහන ඉහත අරමුණ සාර්ථක කර ගැනීමට තබන ලද වඩා ප්‍රායෝගික හා නිවැරදි පියවරක් බව සඳහන් කළ හැකියි.