දුම්කොළ බදු හමුවේ ආණ්ඩුවේ අභියෝග

    October, 4, 2016

    සිගරට් මිල යළිත් වරක් ඉහළ නැංවීමට රජය අද (04) දින පියවර ගනු ලැබීය. වාර්තා වන ආකාරයට සිගරැට්ටුවක මිල රු.7 කින් ඉහළ ගොස් තිබේ. පැවති තත්ත්වය තුළ පසුගිය දිනවල රටපුරා සිගරට් හිඟයක් නිර්මාණය වී තිබිණි. මේ තත්ත්වය හමුවේ බොහෝ සිල්ලර වෙළෙඳසැල් සලාක ක්‍රමයට දුම්වැටි අලෙවියට පියවර ගෙන තිබිණි.

    මේ සම්බන්ධයෙන් ලංකා දුම්කොළ සමාගමෙන් කළ විමසීමක දී එහි නිලධාරියෙකු කියා සිටියේ රජය විසින් යෝජනා කළ පරිදි කොයි මොහොතක හෝ දුම්වැටි මිල ඉහළ දැමීමක් සිදුවෙතැයි යන බලාපොරොත්තුවෙන් වෙළෙඳසැල් හිමියන් දුම්වැටි තොග සඟවා තබා ගෙන සිටිනා බවකි. මෙලෙස දුම්වැටි තොග සඟවා තබා ගෙන ඇතැමුන් කරනු ලබන ජාවාරම සම්බන්ධයෙන් පසුගිය සතිඅන්තයේ දිනෙක මාධ්‍යවේදියෙකු මුදල් අමාත්‍යවරයාගෙන් කරුණු විමසා සිටියේය. එහිදී මුදල් අමාත්‍යවරයා පවසා සිටියේ එවැනි කටයුතුවල යෙදෙන්නන් හට නීතිය උපරිම අයුරින් ක්‍රියාත්මක කරන බවයි.

    පසුගිය සැප්තැම්බර් අවසාන සතියේ පැවති කැබිනට් මණ්ඩල හමුවේදී සිගරට් හා දුම්කොළ නිෂ්පාදන මත පනවා ඇති බදු ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය. එහිදී තීරණය වූයේ 15%ක එකතු කළ අගය මත වන බද්ද (VAT) සිගරට් සඳහා නැවත පැනවීමටත්, දැනට ක්‍රියාත්මක වන නිෂ්පාදන බද්ද ඕනෑම ප්‍රමාණයක සිගරට්ටුවක් සඳහා රුපියල් 5/-කින් වැඩි කිරීමටත්ය.

    එසේම බීඩි කොළ ආනයනය කිරීමේදී කිලෝග්‍රෑමයකට පනවනු ලබන ආනයන සෙස් බද්ද රුපියල් 2,000/- සිට රුපියල් 3,000/- දක්වා වැඩි කිරීමටත්, මෙයට අමතරව වෙනත් ක්‍රියාමාර්ගද අනුගමනය කරමින් රටෙහි දුම්කොළ භාවිතය අවම කිරීම සඳහා පියවර ගැනීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

    මෙහිදී අමාත්‍ය මණ්ඩලයේ තීරණය වූයේ ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 18ත් 69ත් අතර පුද්ගලයින්ගෙන් 15%ක් දුම්පානය කරන්නන් බව සමීක්ෂණ වාර්තා මඟින් හෙළිදරව් වී ඇති අතර, දුම්කොළ ආශ්‍රිත රෝග නිසා වාර්ෂිකව සිදුවන මරණ සංඛ්‍යාව 30,000ක් පමණ වන බව ඇස්තමේන්තු කර ඇති බවත් එසේම දුම්කොළ භාවිතය නිසා ඇති වන ලෙඩරෝග සඳහා ප්‍රතිකාර කිරීමට වාර්ෂිකව රුපියල් බිලියන 72ක පමණ මුදලක් රජයට වැය වන බව ගණනය කොට තිබෙන අතර 'බදු පැනවීම', දුම්කොළ හා දුම්වැටි භාවිතය සීමා කිරීමේ සාර්ථක ක්‍රමවේදයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුනාගනු ලැබ තිබෙන බවත් ය.

    කෙසේ වෙතත් හුදෙක් බදු පැනවීම මඟින් පමණක් ජනතාව දුම්පානයෙන් ඈත්වී ඇත්දැයි යන්න විමසා බැලීම වටී.

    2015 දෙසැම්බර් 31 න් අවසන් මූල්‍ය වර්ෂය තුළ දී ලංකා දුම්කොළ සමාගම විසින් රජයට ගෙවා ඇති මුළු බදු ප්‍රමාණය රුපියල් බිලියන 91.6 කි. මෙහි ඇති විශේෂත්වය වනුයේ සමාගම විසින් 2014 වසරේ දී ගෙවූ බදු වටිනාකම රුපියල් බිලියන 73.6 ක් වීමත් 2015 වසරේ දී එලෙස ගෙවූ බදු ප්‍රමාණය පූර්ව වර්ෂයට සාපේක්ෂව 24% කින් ඉහළ ගොස් තිබීමත්ය. තවද 2014 වසර තුළ දී ලංකා දුම්කොළ සමාගමේ ශුද්ධ ලාභය රුපියල් බිලියන 8.58 ක් වන අතර 2015 වසරේ දී එම අගය රුපියල් බිලියන 10.55 දක්වා 23% කින් ඉහළ ගොස් තිබේ. 2015 වසරේ දී ලංකා දුම්කොළ සමාගම විසින් ගෙවා ඇති බදු වටිනාකම සමස්ත රජයේ ආදායමින් 7% කි.

    මේ අනුව පසුගිය ආසන්නතම වසර 5 ක කාලයක් තුළ ලංකා දුම්කොළ සමාගම විසින් රජයට ලබා ඇති බදු ආදායම පහත පරිදි දැක්විය හැකිය.
    2011 - රුපියල් බිලියන 63.67
    2012 - රුපියල් බිලියන 71.2
    2013 - රුපියල් බිලියන 76.5
    2014 - රුපියල් බිලියන 73.6
    2015 - රුපියල් බිලියන 91.6
    මේ අතර 2016 වසරේ පළමු මාස 06 තුළ දී පමණක් රුපියල් බිලියන 49 ක බදු ආදායමක් රජයට ලබා දීමට ලංකා දුම්කොළ සමාගම කටයුතු කර තිබේ.

    'බදු පැනවීම', දුම්කොළ හා දුම්වැටි භාවිතය සීමා කිරීමේ සාර්ථක ක්‍රමවේදයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුනාගනු ලැබ තිබෙනවා යන්නෙහි යම්කිසි සත්‍යතාවයක් ද මෙහිදී අනාවරණය කර ගත හැකිය. ලංකා දුම්කොළ සිය වාර්ෂික වාර්තා මඟින් පෙන්වා දෙන්නේ 2012 වසරේ දී 4.3% කින් ද, 2013 වසරේ දී 6% කින් ද, 2014 වසරේ දී 11% කින් ද සිය වෙළෙඳපොළ පරිමාව පහළ ගොස් තිබෙන බවයි. එහෙත් මෙම වකවානුවල දී සමාගමේ ලාභ හා රජයේ බදු ආදායම් ඉහළ ගොස් ඇත්තේ දුම්වැටි අලෙවි පරිමාව පහළ යනවාට වඩා විශාල ප්‍රමාණයකිනි.

    පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී සිගරට්ටුවක මිල රුපියල් 5 කින් හා ඊට වැට් බදු පැනවීමට අනුමත වුවද මුලින් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ යෝජනාව වූයේ සිගරට් සඳහා වන බදු 90% ක් දක්වා ඉහළ නැංවීමටය. එහෙත් එවැනි තත්ත්වයක් තුළ දුම්කොළ සමාගම කඩා වැටීමට හැකියාවක් ඇති බවට මුදල් අමාත්‍යවරයා මතු කළ කාරණය හේතුකර ගනිමින් දෙවන විකල්පය කරා යාමට කැබිනට් මණ්ඩලයට සිදුවිය.

    සත්‍ය වශයෙන්ම යම්හෙයිකින් දුම්කොළ සමාගමේ බිඳ වැටීමක් සිදුවුවහොත් එයින් සිදුවන හානියට රටේ සෑම සියලු දෙනාටම මුහුණ පෑ යුතු තත්ත්වයක් නිර්මාණය වීම නොවැළැක්විය හැක්කකි. වර්තමානයේ දී රජයේ ආදායමින් 7% ක් ලබා දෙන්නේ දුම්කොළ සමාගමයි. එනම් රටේ දුම්වැටි පරිභෝජනය කරන ජනතාව පමණක් එම බදු මුදල් ගෙවන බවයි. යම්හෙයිකින් රජයට එම ආදායම අහිමි වී ගියහොත් මෙරට දුම්වැටි බොන නොබොන සියලු දෙනාටම එකී බදු ආදායම පූරණය කිරීම සඳහා දායකත්වය ලබා දීමට සිදුවනු ඇත. මක් නිසාද යත් එවැනි තත්ත්වයක් තුළ දී රජය ආදායම් ලබා ගන්නා අනෙකුත් මාර්ග මොනවාද යන්න තවමත් නිශ්චිත නොමැති බැවිනි.

    අනෙක් අතට ලංකා දුම්කොළ සමාගම යනු මෙරට කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමකි. එහි ප්‍රමාණය අතින් ගත් කල වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 160 ඉක්මනු ලබයි. එය කොටස් වෙළෙඳපොළ සමස්ත ප්‍රාග්ධනීකරණයෙන් 6.24% ක් පමණ වේ. එය දෙවැනි වන්නේ රුපියල් බිලියන 212 ක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයකට හිමිකම් කියනු ලබන ජෝන් කීල්ස් සමූහයට පමණි.

    2016 ඔක්තෝබර් 03 දින වන විට කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.8 කි. එයින් 6% කට හිමිකම් කියනු ලබන සමාගමක් කඩා වැටීම යනු අදාළ සමාගමට පමණක් නොව එය සමස්ත කොටස් වෙළෙඳපොළට ද තර්ජනයකි. රටක ආර්ථිකයක හරස්කඩක් වන කොටස් වෙළෙඳපොළක කඩා වැටීම හරහා ඇතිවන අහිතකර ප්‍රතිවිපාක සුළු වශයෙන් තක්සේරු කළ නොහැකිය.

    ලංකා දුම්කොළ සමාගම සිය නිෂ්පාදිත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය 100% ක්ම ලබා ගන්නේ දේශීය වශයෙනි. එහිදී දුම්කොළ වගාවන් හි නිරත විශාල ගොවි ප්‍රජාවක් දුම්කොළ සමාගම හමුවේ යැපෙන බව කිව මනාය. මෙම ගොවීන්ගේ අස්වැන්න සම්පූර්ණයෙන්ම මිල දී ගැනීමට ලංකා දුම්කොළ සමාගම පියවර ගෙන තිබේ. ලංකා දුම්කොළ සමාගම පවසන්නේ ගොවීන් 20,000 කට ජීවනාලියක් වීමට සමාගම සමත් වී තිබෙන බවත් ග්‍රාමීය ආර්ථිකයට ඒ හරහා රුපියල් බිලියන 1.5 ක දායකත්වයක් ලබා දීමට සමාගම සමත් වී ඇති බවත්ය.

    මීට අමතරව දුම්කොළ ගොවීන් හට විශ්‍රාම වැටුප් ක්‍රමයක්, ඔවුන්ගේ දූදරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍යත්ව ක්‍රමයක්, විදෙස් පුහුණ වැඩසටහන් වැනි අවස්ථා රාශියක් සමාගම හරහා ඔවුන් වෙත ලැබී ඇත. අනෙක් අතට මෙරට ගොවි ප්‍රජාව අතුරින් රජයට බරක් නැති එකම ගොවි ප්‍රජාව වශයෙන් දුම්කොළ ගොවියන් හැඳින්විය හැකිය. මන්ද ඔවුන් හට පොහොර සහානාධාර ලබා දීමේ වගකීමක් රජයට නැත. එසේම සහතික මිලකට අස්වැන්න මිල දී ගැනීමේ වගකීමක් ද රජයට නැත. මේ සියල්ල රජය වෙනුවෙන් ලංකා දුම්කොළ සමාගම විසින් සිදුකරනු ඇත. යම්හෙයිකින් මෙම කර්තව්‍යයෙන් දුම්කොළ සමාගම ඉවත් වුවහොත් එහි වගකීම ද රජයට පැවරෙනු ඇත. එය රජයට සුළුපටු වගකීමක් නොවනු ඇත.

    මේ අතර වර්තමානයේ දී දුම්කොළ ගොවීන්ගෙන් එල්ල වී ඇති මැසිවිල්ලක් වී ඇත්තේ දුම්කොළ වගාවෙන් ඈත් වී වෙනත් භෝග කරා විතැන් වන ලෙස කෘෂි නිලධාරීන්ගෙන් බලපෑම් එල්ල වන බවයි. මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්වරයාගෙන් අප කළ විමසීමක දී ඔහු කියා සිටියේ තම අමාත්‍යාංශය කිසිදු අයුරකින් දේශීය වගාකරුවන් වෙත එවැනි අකාරයේ බලපෑමක් සිදුකරන්නේ නැති බවයි. එසේම නිරන්තරයෙන් දේශීය ගොවියා නඟා සිටුවීමට අවශ්‍ය පියවර තම අමාත්‍යංශය විසින් ගනු ලබන බව ද හෙතෙම මෙහිදී අවධාරණය කළේය.

    සාමාන්‍යයෙන් දුම්කොළ කිලෝවක් සඳහා රුපියල් 400 ක් ඉක්මවූ මිලක් වර්තමානයේ දී නියම වී තිබේ. ශ්‍රී ලංකාව තුළ දුම්කොළ වගාව සඳහා ඇති ඉඩකඩ පුළුල් කරමින් මෙරට ගොවීන් හට සිය අස්වැන්න අපනයනය සඳහා අවස්ථාවක් රජය හරහා උදාවන්නේ නම් එය මෙරට කෘෂි කර්මාන්තය සම්බන්ධයෙන් ද වැදගත් පියවරක් වනු ඇත. එසේම එය සම්ප්‍රදායික කෘෂි අපනයන භෝගවලින් ඔබ්බට ගිය විශාල අපනයන ආදායමක් ලබා දීමට හේතුවක් ද වනු ඇත.

    සමස්තයක් වශයෙන් ගත් කළ දුම්බීම ශරීරයට අහිතකර බවත්, එය පිළිකාකාරකයක් බවත් පර්යේෂණවලින් සොයා ගෙන ඇත. එහෙත් දුම්පානය අධෛර්යයමත් කිරීමේ අරමුණින් ඒ සඳහා බලපවත්වන බදු ඉහළ දමන්නට කටයුතු කළ ද, නීති විරෝධී අයුරින් මෙරටට රැගෙන එන දුම්වැටි හෙවත් ‘රට සිගරට්‘ නිසා විශාල බදු ආදායමක් මෙරටට අහිමි වන බව අනාවරණය වී ඇත. 2016 වසරේ පළමු මාස 06 තුළ දී සිදුකළ වැටලීම් 811 කින් නීති විරෝධී දුම්වැටි මිලියන 2.5 ක් සොයා ගෙන තිබේ. කෙසේ වෙතත් අනාවරණය කර නොගත් ප්‍රමාණය පවතින්නේ ඊට සාපේක්ෂව බෙහෙවින් ඉහළ මට්ටමකය.

    පවතින තත්ත්වය තුළ දුම්කොළ බදු ඉහළ නැංවීම හරහා අංශ ගණනාවක් වෙත රජයේ අවධානය යොමු විය යුතු වටපිටාවක් නිර්මාණය වී තිබේ. එය හුදු බදු වැඩි කිරීමකින් ඔබ්බට ගිය රටේ ආර්ථිය හා ග්‍රාමීය ගොවි ප්‍රජාව පිළිබඳ කියැවෙන විශාල චිත්‍රයකි. එය අර්ථ දක්වන ආකාරය රජය හමුවේ ඇති අභියෝගයයි.