දුම්පානය අඩුකිරීමට බදු හරහා සිගරැට් මිල වැඩිකිරීම ප්‍රමාණවත් දායකත්වයක් දක්වා නැහැ – අධ්‍යයනයකින් හෙළිවෙයි

    March, 21, 2018

    Big Issue සඟරාව සමඟ අත්වැල් බැඳගනිමින් Research Intelligence Unit (RIU) ආයතනය විසින් පසුගිය දා ශ‍්‍රී ලංකා ආර්ථික සමුළුව (Sri Lanka Economic Forum) පැවැත්වීය. ශ‍්‍රී ලංකාවේ බදුකරණය යන තේමාව යටතේ පැවති මෙම සමුළුවේදී දුම්කොළ නිෂ්පාදන කර්මාන්තය සම්බන්ධයෙන් සිදුකල අධ්‍යයනයක් පිළිබඳව අවධානය යොමු කළේය. මෙයට අමතරව Research Intelligence Unit (RIU) විසින් එළි දක්වන ලද මෙම වාර්තාව ඔවුන් විසින් සිදුකළ ස්වාධීන අධ්‍යයනයේ කොටසක් ලෙසින් පෙන්වාදිය හැකිය.

    රටක පිස්කල් සහ බදුකරණ ප‍්‍රතිපත්තිය යනු සාර්ව ආර්ථික ප‍්‍රතිපත්තියේ සහ තිරසර ආර්ථික වර්ධනයේ, විශේෂයෙන්ම රජයේ ආදායම, රාජ්‍ය ණය මෙන්ම සම්පත් වෙන්කිරීම සහ ආර්ථික ස්ථායිතාවය වැනි අංශවල ප‍්‍රධාන අංගයකි. දුම්කොළ නිෂ්පාදන පිළිබඳව ඕනෑම රජයක ප‍්‍රතිපත්තිය ඉතාමත් වැදගත් අරමුණු දෙකක් සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් සකස්විය යුතුය. මෙහිදී, පළමු වැන්න වනුයේ ජනතාව දුම්කොළ නිෂ්පාදන පරිභෝජනය කිරීමේදී ඔවුන්ට ඇතිවන සෘණාත්මක සෞඛ්‍ය බලපෑම අඩු කිරීමයි. දෙවැන්න වන්නේ රජයේ ආදායමට වැඩිම ආදායමක් එක්කරන අංශයක් ලෙස මෙම කර්මාන්තයෙන් රජයේ ආදායමට එක්වන බදු ආදායම ආරක්ෂා කර ගැනීමයි. මෙම අරමුණු දෙක සමබරව පවත්වාගෙන යාමට අපොහොසත් වන ජාතික ප‍්‍රතිපත්තියක් මගින් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය මෙන්ම මහා භාණ්ඩාගාරයේ ආදායම් තත්ත්වය ද දුර්වල වීම සිදුවනු ඇත.

    ‘මේ වන විට ආසියානු පැසිෆික් කළාපයේ සිගරට් මිල වැඩිම රට වන්නේ ලංකාවයි. ලෝකයේ දෙවැනියට වැඩිම සිගරට් මිලක් ඇති රට වන්නේද ලංකාවයි. මේ නිසා, ලංකාවේ මෙම කර්මාන්තය ජාවාරම්කරුවන්ගේ පරාදීසයක් බවට පත්වී තිබෙනවා,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් Research Intelligence Unit (RIU) හි, නිර්මාතෘ සහ ප‍්‍රධාන විධායක නිලධාරී, රොෂාන් මඩවල මහතා සඳහන් කළේය.

    ශ‍්‍රී ලංකා රේගුවට අනුව වංචා සහගත අයුරින් මෙරටට ගෙන්වන සිගරට් ප‍්‍රමාණයෙන්, සොයාගැනීමට හා රාජසන්තක කරගැනීමට හැකි වී තිබෙන්නේ 1/10 ක් තරම් සුළු ප‍්‍රමාණයකිග සමහර අවස්ථා වලදී මෙරටට නීති විරෝධී ආකාරයෙන් ගෙන්වන විශාල සිගරට් තොග රාජසන්තක කරමින් අදාළ ජාවාරම්කරුවන්ට දඩ පැනවූවත්, එය අපරාධ ක‍්‍රියාකාරකම් මැඩලීම සඳහා ප‍්‍රමාණවත් නොවේ. මේ ආකාරයෙන් නීති විරෝධී දේශසීමා ක‍්‍රියාකාරකම් වර්ධනය වෙද්දී Research Intelligence Unit (RIU) විසින් නිරීක්ෂණය කර තිබෙන්නේ, සිගරැුට් වලට වඩා දරුණු මත්ද්‍රව්‍ය මෙම ජාවාරම්කරුවන් විසින් මේ ආකාරයෙන්ම රට තුළට රැගෙන ඒමේ ප‍්‍රවණතාවයේ වර්ධනයක් ඇති වන බවයි. Research Intelligence Unit (RIU) විසින් දුම්කොළ කර්මාන්තය පිළිබඳව සිදුකළ මෙම සමීක්ෂණයේදී මෙම සම්බන්ධතාවය අනාවරණය කර ගැනීමද විශේෂ කරුණක් බවට පත්විය.

    මෙම සමීක්ෂණයේදී අදාළ වන රජයේ අධිකාරීන්, ආයතන, නායකයින්, බදුකරණය පිළිබඳ විශේෂඥයින් සහ කර්මාන්තයේ පාර්ශ්වකරුවන් සමග එකින් එක සාකච්ඡා සිදුකර ඇත. මීට අමතරව, දුම් පානය කරන්නන් (සිගරට් හෝ බීඩි) 120 දෙනෙකුගෙන් යුතු නියැදියක් සහ දුම්වැටි අලෙවිකරන වෙළෙඳුන්ද සහභාගී කරවා ගනිමින් මෙහිදී පාරිභෝගික සමීක්ෂණයක්ද සිදුකර තිබේ.

    පසුගිය වසර ගණනාව තුළදී ශ‍්‍රී ලංකාව විසින් සිගරට් සඳහා අධික බදු පැනවීම නීති විරෝධී ආකාරයෙන් ගෙන්වන සිගරැට් වැඩිවීම සඳහා යම් බලපෑමක් කර තිබෙන අතර, මේ තුළින් වෙළඳපොළ අර්බුදය නිර්මාණය වී තිබේ. තව දුරටත් පෙනෙන කාරණය වන්නේ 2009 වසරේ සිට 2015 දක්වා සිගරට් සඳහා යම් ස්ථාවර ප‍්‍රමාණයකින් බදු වැඩි වුවද, 2016 වසරේදී විශාල ලෙස බදු වැඩිකිරීම හමුවේ නිතී විරෝධී දුම්වැටි කර්මාන්තයේ විශාල වර්ධනයක් ඇති වීමයි. මෙයින් සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ මුදල් අමාත්‍යංශයේ බලාපොරොත්තු වන අරමුණු දෙකම සාක්ෂාත් කර ගැනීමට අපහසු තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි.

    ලෝක බැංකුව ඇතුළු ජාත්‍යන්තර ආයතන යෝජනා කර තිබෙන ආකාරයට බදු 10% කින් වැඩිකරන විට අඩු සහ මධ්‍යම ආදායම් ලාභී රටවල දුම්පානය 8% කින් පමණ පහළ යනු ඇත. කෙසේවෙතත්, ශ‍්‍රී ලංකා වෙළඳපල තුළ බීඩි සහ නීති විරෝධී ආකාරෙයන් ගෙන්වන ලද සිගරට් ඉතා අඩු මිලදී ගැනීමට හැකි තත්ත්වයක් තිබියදී, ජාත්‍යන්තර ප‍්‍රතිපත්තීන් ශ‍්‍රී ලංකාව තුළ ඒ ආකාරයෙන්ම ක‍්‍රියාත්මක කල නොහැකි පරිසරයක් නිර්මාණය වී ඇති බවයි. මේ අනුව, සඳහන් කළ හැක්කේ ජාත්‍යන්තර ආයතන සඳහන් කරන පරිදි, ශ‍්‍රී ලංකාවේ ජනතාවගේ දුම්පානය අඩුකිරීම සඳහා බදුකරණය මගින් සිගරැට් මිල වැඩිකිරීම එතරම් දායකත්වයක් දක්වා නොමැති බවයි.

    මෙම සමීක්ෂණය මගින් ආනාවරණය කරගත් කරුණු වලට අනුව පහත පරිදි වැදගත් නිරීක්ෂණ සහ නිර්දේශ ඉදිරිපත් කළ හැකිය.

    01. රජය සහ පුද්ගලික අංශයද අයත්වන පරිදි මෙම ක්ෂේත්‍රයේ සියළුම ප‍්‍රධාන කණ්ඩායම් ඇතුළත් වන බහු-පක්ෂ උපදේශන කණ්ඩායමක් නිර්මාණය කිරීම.

    02. දුම්කොළ නිෂ්පාදන බදුකරණය දේශපාලනීකරණයෙන් මුදවා, තාර්කික, සමබර සහ සමීක්ෂණය මත පදනම් වූ ප‍්‍රතිපත්ති රාමුවක් ඒ සඳහා ඇතිකිරීම.

    03. ජාත්‍යන්තර ආයතන පවසන දෑ ඒ ආකායෙන්ම පිළි නොගනිමින්, දේශීය ස්වභාවය මනාව තේරුම් ගනිමින් ජර්මනිය, පකිස්තානය සහ අනිකුත් රටවල් මෙම ගැටලූව විසඳාගෙන තිබෙන ප‍්‍රතිපත්ති ප‍්‍රවේශය පිළිබඳව අවධානය යොමුකිරීම.

    04. සෞඛ්‍ය ඉලක්ක ජයගැනීම සඳහා බදුකරණය පිළිබඳව පමණක් විශ්වාසය නොතබා, අධ්‍යාපනය සහ සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීම වැනි ඉතා වැදගත් ප‍්‍රතිපත්තිමය ක‍්‍රියා මාර්ග පිළිබඳව සලකා බැලීම.

    05. බීඩි වැනි ආශ‍්‍රිත කර්මාන්ත පිළිබඳ ප‍්‍රතිපත්තිය නැවත විමර්ශනයට ලක් කිරීම.

    06. නීති විරෝධී ආකාරයෙන් ගෙන්වීම පිළිබඳව ඇති ප‍්‍රතිපත්තිය නැවත විමර්ශනයට ලක් කිරීම.

    ’නීත්‍යානුකූල සහ නියාමනය කළ කර්මාන්තයකට නිවැරදි අනාගත පුරෝකතන කරමින්, සමාන තරගකිරීමේ අවස්ථා ලබාගනිමින්, මහා භාණ්ඩාගාරය සඳහා පුරෝකතනය කළ ආදායමක් උපයාදීම සඳහා දුම්කොළ නිෂ්පාදන බදුකරණය දේශපාලනීකරණයෙන් ගලවා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මෙහිදී, සෞඛ්‍ය අමාත්‍යංශයේ ප‍්‍රතිපත්තිය සහ මුදල් අමාත්‍යංශයේ ප‍්‍රතිපත්තිය රජයට එකවර සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය නම්, මෙම කර්මාන්තයේ සියළුම පාර්ශ්වකරුවන් සමග සාකච්ඡා කිරීම අනිවාර්ය වෙනවා,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් මඩවල මහතා තවදුරටත් අවධාරණය කළේය.