දෙසැම්බර් 02 වනදා සියැට්-ස්ලාඩා සම්මාන රාත‍්‍රියේදී ධාවන තරු කිරුළු පළඳී

    December, 2, 2016

    2016 වසරේ මෝටර් රථ ධාවන සමයේ උච්චතම අවස්ථාවට පැමිණෙමින් එළඹෙන දෙසැම්බර් 02 වන සිකුරාදා මෙරට සුපිරිතම ධාවක තරු අභිමානවත්ව කිරුළු පළඳවන 2016 සියැට්-ස්ලාඩා ශුරතා සම්මාන රාත‍්‍රිය අති උත්කර්ශවත් අයුරින් පැවැත්වීමට සියළු කටයුතු යොදා තිබේ.

    ශ‍්‍රී ලංකා ඔටෝ-ස්පෝර්ට්ස් ධාවකයින්ගේ සංගමය (SLADA) විසින් පැවැත්වූ ධාවන තරඟ හයකදී දක්ෂතා අනුව මෙහිදී හොඳම මෝටර් රථ ධාවකයා, හොඳම යතුරු පැදි පදවන්නා, මෝටර් රථ අංශයේ කණ්ඩායම් ශුරතාවය, යතුරු පැදි අංශයේ කණ්ඩායම් ශුරතාවය සඳහා සම්මාන පිරිනැමෙන අතර මෙම විචිත‍්‍රවත් සම්මාන රාත‍්‍රිය සඳහා පිට පිටම හත්වන වතාවටත් නාම අනුග‍්‍රහය දක්වන්නේ සියැට්- කැළණි හෝල්ඩින්ග්ස් සමාගමයි.

    කොළඹ ගලධාරී හෝටලයේ ග‍්‍රෑන්ඞ් බෝල්රූම් හි පැවැත්වෙන 2016 සියැට්-ස්ලාඩා ශුරතා සම්මාන රාත‍්‍රියේදී ප‍්‍රධාන සම්මාන හතරට අමතරව විවිධ ධාවන තරඟ ඉසව් වලදී දැක්වූ දක්ෂතා අනුව ධාවකයින්ට තවත් සම්මාන රැුසක් පිරිනැමෙන අතර මෙහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමට ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට ඇරයුම් කර ඇත.

    ‘‘සෑම වසරකම ශ‍්‍රී ලංකාවේ ධාවන තරඟ ක්ෂේත‍්‍රයේ ඉතාමත් ගෞරවණීය වැඩසටහනක් ලෙස සියැට්-ස්ලාඩා ශුරතාවය දිනෙන් දිනම ඉහළට පැමිණෙනවාල’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් ශ‍්‍රී ලංකා ඔටෝ-ස්පෝර්ට්ස් ධාවකයින්ගේ සංගමයේ සභාපති මහේෂ් ගම්මන්පිල මහතා පැවසීය. ‘‘ධාවන තරඟ ක්ෂේත‍්‍රයේ වර්ධනයට ධාවකයින්ගේ සහ පේ‍්‍රක්ෂකයින්ගේ කැපවීම සහ දායකත්වය ඉතාමත් වැදගත් වන අතර මෙම ශුරතාවයට මෙතරම් වර්ධනයක් පෙන්වීමට සියැට් සමාගම විසින් අඛණ්ඩව දක්වන දායකත්වය හේතුවී තිබෙනවා.’’

    මේ පිළිබඳව අදහස් දක්වමින් සියැට් කැළණි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ විජේ ගාම්භීරේ මහතා මෙසේ සඳහන් කළේය. ‘‘සියැට් විසින් ශ‍්‍රී ලංකාවේ ධාවන තරඟ ක්ෂේත‍්‍රයට ලබාදෙන සහයෝගය සන්නාමය සඳහා ඉතාමත් තර්කානුකූලයි. මන්දයත්, සියැට් ටයර් මෙන්ම ධාවන තරඟ ක්ෂේත‍්‍රයත් කාර්ය සාධනය සහ කල්පැවැත්මේ ශක්තිය සමග බැඳී ඇති නිසා. ස්ලාඩා සමග ඒකාබද්ධ වෙමින් ශ‍්‍රී ලංකාවේ ධාවන තරඟ ක්ෂේත‍්‍රය සංවර්ධනය කිරීමේ කැපී පෙනෙන කාර්ය භාරයක් කිරීමට ලැබීම පිළිබඳව අපි අතිශය සතුටට පත්වෙනවා.’’

    2016 සියැට්-ස්ලාඩා ශුරතාවය වෙනුවෙන් පැවති ධාවන තරඟ හය අතරට ෆොක්ස්හිල් සුපර් ක්‍රොස්, ගනර් සුපර් ක්‍රොස්, ගජබා සුපර් ක්‍රොස්, සීගිරිය රැළි ක්‍රොස්, රොතර්හැම් සර්කිට් මීට්- ධාවන තරඟ 1 සහ රොතර්හැම් සර්කිට් මීට්- ධාවන තරඟ 2 ඇතුළත් වේ.

    ශ‍්‍රී ලංකා ඔටෝ-ස්පෝර්ට්ස් ධාවකයින්ගේ සංගමය (SLADA) විසින් 2017 වසර වෙනුවෙන් ෆොක්ස්හිල් සුපර් ක්‍රොස්, සීගිරිය රැළි ක්‍රොස්, ගනර් සුපර් ක්‍රොස්, ගජබා සුපර් ක්‍රොස්, රොතර්හැම් කටුකරුන්ද යන ධාවන තරඟ 05 පැවැත්වීමට සැලසුම් කර තිබේ.

    සියැට් ස්ලාඩා ශුරතාවලියට අනුග‍්‍රාහකත්වය දැක්වීමට අමතරව ශ‍්‍රී ලංකා යුධ හමුදාව සහ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව මෙන්ම ලංකාවේ ධාවන ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ පාලක මණ්ඩලය වන ශ‍්‍රී ලංකා ඔටෝ මොබයිල් ස්පෝට්ස් (SLADA) විසින් සංවිධානය කරන ධාවන තරඟ සඳහා සියැට් සහයෝගය ලබාදෙයි. මේ අනුව සියැට් විසින් සහයෝගය ලබාදීමේ කොටසක් ලෙස, ෆෝර්ඞ් ලේසර්/මැස්ඩා 1300 ජජ සහ 1500 ජජ කාණ්ඩ සඳහා පවත්වන ‘වන්මේක්’ ධාවන තරඟවල ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස සියැට් කටයුතු කරන අතර මෙම ධාවන තරඟ සියල්ල සඳහා සියළුම ධාවකයින් විසින් සියැට් රේඩියල් ටයර් භාවිතා කරයි.

    දේශීය වශයෙන් පැවැත්වෙන සියළුම ප‍්‍රධාන ධාවන තරඟ සඳහා සියැට් විසින් තමන්ගේම ධාවක කණ්ඩායමක් ඉදිරිපත් කරන අතර මෙම කණ්ඩායම විසින් විශිෂ්ට ජයග‍්‍රාහී ස්ථාන 61 ක් සමගින් 2015 වසර සඳහාත් පිට පිටම දෙවන වරට මෝටර් රථ අංශයේ කණ්ඩායම් ශුරතාවය දිනාගැනීමට සමත් වූයේ පසුගිය වසරේ පැවැති සියැට්-ස්ලාඩා ශුරතා සම්මාන ප‍්‍රදානයේ ප‍්‍රධානතම ජයග‍්‍රාහකයෙකු වෙමිනි.