දේශපාලන පක්ෂපාතීත්වයෙන් තොරව ලබාගත් වෙළෙඳ අවස්ථාවක් – සීනි ආනයනය ගැන පිරමිඩ් විල්මාර් කියයි

    December, 28, 2020

    “පිරමිඩ් විල්මාර්, සතොස සහ දේශපාලකයන් එක්ව සිදු කළ දූෂිත සීනි ගනුදෙනුවකින් සිදුවුනු රුපියල් බිලියන 10ක අලාභය“ යන මැයෙන් පුවත්පතක පළ කරන ලද ලිපියක් සම්බන්ධයෙන් පිරමිඩ් විල්මාර් සමාගම කරුණු පැහැදිලි කර සිටී.

    සතිඅන්ත පුවත්පත් හි දැන්වීමක් මාර්ගයෙන් අදාළ සමාගම වැඩිදුරටත් මෙසේ පවසයි.

    ඉහත මැයෙන් යුත් පුවත්පත් ලිපියෙහි සඳහන්ව තිබුණේ පිරමිඩ් විල්මාර් (පුද්ගලික) සමාගම සහ එහි අධ්‍යක්ෂවරුන් ද ඇතුලුව පුද්ගලික ව්‍යාපාරිකයින් සමඟ එක්ව රජය විසින් සිදුකළ දූෂිත සීනි ගනුදෙනුවක් හේතුවෙන්, භාණ්ඩාගාරයට ලැබිය යුතුව තිබූ රුපියල් බිලියන 10ක ආදායමක් රජයට ලැබීම වළක්වා ඇතැයි, ජාතික ජන බලවේගය නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ දී කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් වන අතර, මෙකී සඳහන් පුවත්පත් ලිපියෙහි පිරමිඩ් විල්මාර් (පුද්ගලික) සමාගමෙහි අධ්‍යක්ෂවරුන් පිළිබඳව ද නම් වශයෙන් විශේෂිතව සඳහන් කර තිබුණි.

    පිරමිඩ් විල්මාර් (පුද්ගලික) සමාගම (“පිරමිඩ් විල්මාර්“) සහ එහි අධ්‍යක්ෂවරුන් ප්‍රකාශ කොට වාර්තා කර සිටින්නේ, පිරමිඩ් විල්මාර් සමාගම විසින් සිදුකරන ලද එම සීනි ආනයනය කිරීමේ කටයුත්ත සාධාරණවූත්, විනිවිදභාවයෙන් යුක්තවූත්, දේශපාලන පක්ෂපාතීත්වයෙන් තොරව ලබාගත් වෙළෙඳ අවස්ථාවක් බවය.