May, 2, 2023
ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන හා මූල්‍ය වෙළඳපොළට සාපේක්ෂව සේවක අර්ථසාධක අරමුදල විශාල වීම හේතුවෙන් ආයෝජන අවස්ථා සීමා සහිත වීමත් සමඟ සිය ආයෝජන රාජ්‍ය සුරැකුම්පත්වල බොහෝ දුරට යෙදවීමට සේවක අර්ථසාධක අරමුදලට සිදුවී ඇති බවත් ඇතිවිය හැකි දේශීය ණය ප්‍රශස්තිකරණ ක්‍රියාවලියක දී මෙලෙස වැඩි වශයෙන් රජයේ සුරැකුම්පත් මත යැපීමට සිදු වීම මගින් සේවක අර්ථසාධක අරමුදලට යම් අවදානමකට මුහුණ දීමට සිදුවිය හැකි බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
2022 වාර්ෂිත වාර්තාව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව කියා සිටී.
මෙහිදී සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි.
2022 වසර අවසානයේ විශ්‍රාම අරමුදල් අංශයේ මුළු වත්කම්වලින් සියයයට 79.6ක් නියෝජනය කරමින් සේවක අර්ථසාධක අරමුදල (සේ.අ.අ./අරමුදල) එම අංශයේ ප්‍රධාන අරමුදල ලෙස අඛණ්ඩව පැවතුණි. අරමුදලෙහි මුළු වටිනාකම 2021 වසර අවසානයේ වාර්තා වූ රුපියල් බිලියන 3,166.1ට සාපේක්ෂව 2022 වසර අවසානය වන විට සියයට 9.3ක වර්ධනයක් පෙන්නුම් කරමින්, රුපියල් බිලියන 3,459.9ක් දක්වා රුපියල් බිලියන 293.7කින් ඉහළ ගියේය. සාමාජිකයන්ගේ ශුද්ධ දායක මුදල් ලැබීම්වල (දායක මුදල් ලැබීම්වලින් ප්රතිලාභ ගෙවීම් අඩු කළ පසු) මෙන්ම අරමුදල් ආයෝජනය තුළින් උපයාගත් ආදායම්වල සමස්ත ප්‍රතිඵලය මෙම වර්ධනයට හේතු විය. අරමුදල, සාමාජිකයන් වෙත වූ මුළු වගකීම 2022 වසර අවසානය වන විට රුපියල් බිලියන 3,380.6ක් වූ අතර, එය 2021 වසර අවසානයේ පැවති රුපියල් බිලියන 3,066.9ට සාපේක්ෂව සියයට 10.2ක වර්ධනයකි. 2022 වසර සඳහා මුළු දායක මුදල් ලැබීම් සියයට 17.4කින් රුපියල් බිලියන 194.6ක් දක්වා වර්ධනය වූ අතර සාමාජිකයන් හා ඔවුන්ගේ නෛතික උරුමක්කරුවන් හට සිදු කළ සමස්ත ප්රතිලාභ ගෙවීම් රුපියල් බිලියන 163.0ක් වූ අතර, එය 2021 වසරට සාපේක්ෂව සියයට 37.9ක වර්ධනයකි. ඒ අනුව, 2022 වසරට අදාළ ශුද්ධ දායක මුදල් ලැබීම් පෙර වසරේ පැවති රුපියල් බිලියන 47.5ට සාපේක්ෂව රුපියල් බිලියන 31.6ක් විය. අරමුදලෙහි ශුද්ධ ආදායම පෙර වසරේ වාර්තා කළ රුපියල් බිලියන 299.1ට සාපේක්ෂව සියයට 11.7කින් පහළ යමින් 2022 වසර අවසානයේ දී රුපියල් බිලියන 264.1ක් විය. මෙයට ප්‍රධානතම හේතුව වූයේ පෙර වසරේ ලැයිස්තුගත කොටස් මත පැවති උපලබ්ධි නොවූ වෙළඳපොළ මිලට අගය කළ ලාභය වූ රුපියල් බිලියන 41.8ට සාපේක්ෂව 2022 වසරේ දී ලැයිස්තුගත කොටස් මත උපලබ්ධි නොවූ වෙළඳපොළ මිලට අගය කළ අලාභය රුපියල් බිලියන 40.9ක් වීමයි.
අරමුදලෙහි සමස්ත ආයෝජන කළඹෙහි වටිනාකම (පොත් අගය) 2021 වසරේ පැවති රුපියල් බිලියන 3,173.3ට සාපේක්ෂව 2022 වසරේ දී රුපියල් බිලියන 3,466.5ක් දක්වා සියයට 9.2කින් වර්ධනය විය. අරමුදලෙහි ආයෝජන ප්‍රතිපත්තිය, අරමුදලෙහි සුරක්ෂිතභාවය ආරක්ෂා කර ගනිමින්, සාමාජිකයින්ට අවදානම්වලට ගළපන ලද ප්රශස්ත ප්‍රතිලාභයක් ලබා දීමේ අරමුණ පෙරදැරිව ක්‍රියාත්මක කෙරුණු අතර එහිදී සාමාජිකයන්ට ප්රතිලාභ ගෙවීම් සහ අනෙකුත් මෙහෙයුම් වියදම් සපුරාගැනීම සඳහා අවශ්‍ය ද්‍රවශීලතාව පවත්වා ගැනීම ද සලකා බලනු ලැබීය. ඒ අනුව, 2022 වසර අවසානය වන විට අරමුදලෙහි සමස්ත ආයෝජන කළඹෙන් සියයට 96.9ක් රජයේ සුරැකුම්පත්හි ආයෝජනය කර තිබූ අතර, සමාගම් කොටස්වල සියයට 2.3ක් ද සාංගමික ණයකරවල සියයට 0.7ක් ද ඉතිරි සියයට 0.1 ප්‍රතිවිකුණුම් ගිවිසුම්වල ද ආයෝජනය කර තිබුණි.
අරමුදලෙහි සමස්ත ආයෝජන ආදායම 2022 වසරේ දී රුපියල් බිලියන 315.9ක් ලෙස වාර්තා වූ අතර, එය පෙර වසරේ වාර්තා කළ රුපියල් බිලියන 342.2 හා සැසඳීමේ දී සියයට 7.7ක පහත වැටීමකි. පොලී ආදායම, අරමුදලෙහි ප්‍රධාන ආදායම් ප්රභවය ලෙස අඛණ්ඩව පැවති අතර එය 2021 වසරේ උපයන ලද රුපියල් බිලියන 293.7ට සාපේක්ෂව 2022 වසරේ දී රුපියල් බිලියන 349.3ක් දක්වා සියයට 18.9කින් වර්ධනය විය. 2022 වසරේ ලාභාංශ ආදායම 2021 වසරේ දී වූ රුපියල් බිලියන 6.7ට සාපේක්ෂව සියයට 12.6කින් රුපියල් බිලියන 7.5ක් දක්වා වර්ධනය විය. පෙර සඳහන් කළ පරිදි, 2021 වසරේ දී ලැයිස්තුගත කොටස් මත පැවති උපලබ්ධි නොවූ වෙළඳපොළ මිලට අගය කළ ලාභය රුපියල් බිලියන 41.8ක් ලෙස වාර්තා වූ අතර 2022 වසරේ දී එය රුපියල් බිලියන 40.9ක අලාභයක් ලෙස දැක්විණි.
2022 වසරේ දී අරමුදලේ සමස්ත දළ ආදායම රුපියල් බිලියන 316.2ක් ලෙස සටහන් වූ අතර, එය පෙර වසරේ වාර්තා කළ රුපියල් බිලියන 342.4 හා සැසඳීමේ දී සියයට 7.6ක අඩු වීමකි. මෙහෙයුම් වියදම් සහ බදු වියදම් සඳහා වෙන් කිරීම් කළ පසු 2022 වසර සඳහා ශුද්ධ ලාභය රුපියල් බිලියන 264.1ක් වන අතර එය 2021 වසරේ වාර්තා වූ රුපියල් බිලියන 299.1ට සාපේක්ෂව සියයට 11.7ක අඩුවීමකි. ඒ අනුව, 2022 වසරේ සේවක අර්ථසාධක අරමුදලේ සාමාන්‍ය ආයෝජනය මත ප්‍රතිලාභය සියයට 9.96ක් විය. භාණ්ඩ හා සේවාවල මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබියදීත්, 2022 වසරේ දී අරමුදලේ දළ ආදායමට සාපේක්ෂව මෙහෙයුම් වියදම් අනුපාතය සියයට 0.67ක් ලෙස පවත්වා ගෙන යාමට හැකිවිය. කෙසේ වුවද, 2022 වසරේ පොලී අදායම සහ ලාභාංශ අදායම වැඩිවීමත් සමඟ අරමුදලේ ආදායම් බදු වියදම 2021 වසර හා සැසදීමේ දී රුපියල් බිලියන 7.3කින් වැඩි විය. කෙසේ වුවද, මූල්‍ය උපකරණ වර්ගීකරණය හා මිනුම්කරණය සඳහා අදාළ වන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 09ට අනුව ලැයිස්තුගත ව්‍යාපාර කොටස්, සාධාරණ වටිනාකමට ගණනය කරන ලද අතර, පැවති අහිතකර වෙළඳපොළ තත්ත්වය හේතුවෙන් 2022 වසරේ දී රුපියල් බිලියන 40.9ක ශුද්ධ අලාභයක් වාර්තා විය. තවද, 2022 වසරේ අප්‍රේල් මාසය දක්වා වෙළඳපොළෙහි පැවති අඩු පොලී අනුපාතික සලකා බැලීමේ දී, 2022 වසරේ මැයි මාසයෙන් පසුව ආයෝජනය කරන ලද අරමුදල් පමණක්, ඉහළ පොලී අනුපාතික යටතේ ආයෝජනය කළ අතර, පසුගිය කාලසීමාවන් තුළ රැස්කරගත් ආයෝජනය කළ හැකි අරමුදල් අඩු පොලී අනුපාතිකයන් යටතේ ආයෝජනය කර තිබුණි.
තවද, ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන හා මූල්‍ය වෙළඳපොළට සාපේක්ෂව අරමුදල විශාල වීම හේතුවෙන් ආයෝජන අවස්ථා සීමා සහිත වීමත් සමඟ සිය ආයෝජන රාජ්‍ය සුරැකුම්පත්වල බොහෝ දුරට යෙදවීමට සේවක අර්ථසාධක අරමුදලට සිදු විය. ඇතිවිය හැකි දේශීය ණය ප්‍රශස්තිකරණ ක්‍රියාවලියක දී මෙලෙස වැඩි වශයෙන් රජයේ සුරැකුම්පත් මත යැපීමට සිදු වීම මගින් සේවක අර්ථසාධක අරමුදලට යම් අවදානමකට මුහුණ දීමට සිදුවිය හැක. පැවති අහිතකර ආර්ථික හා මූල්‍ය තත්ත්වයන් හේතුවෙන් අරමුදලේ ආයෝජන පිළිබඳ තීරණ ගැනීමේ ක්‍රියාවලිය වසර තුළ දී අභියෝගාත්මක විය. ඉහත අභියෝග සැලකිල්ලට ගෙන මුදල් මණ්ඩලය මගින් අනුමත කර ඇති අවදානම් කළමනාකරණ රාමුවට (ආයෝජන ප්‍රතිපත්ති ප්‍රකාශය, උපාය මාර්ගික වත්කම් විභජනයන් සහ ආයෝජන මාර්ගෝපදේශ) සහ අභ්‍යන්තර පාලන පද්ධතියට අනුකූල වන පරිදි අවදානම් ගලපන ලද ප්රශස්ත ප්‍රතිලාභයක් ළඟා කර ගැනීම සඳහා සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව විසින් සිය ආයෝජන ක්රමෝපායන් හැඩගස්වන ලදී.
Video Story