‘ද ෆිනෑන්ස්‘ තැන්පතුකරුවන්ගෙන් 93%කට සම්පූර්ණ මුදල් ගෙවන බවට මහ බැංකුවෙන් සහතිකයක්

    May, 27, 2020

    මෙරට පැරණිතම මූල්‍ය ආයතනය ලෙසින් සලකන ලද ‘ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී‘ ආයතනයේ මුදල් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යාම සඳහා නිකුත් කර තිබූ බලපත්‍රය පසුගිය මැයි 22 සිට බලපැවැත්වෙන පරිදි අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගනු ලැබීය.

    මහ බැංකුවේ මෙම තීරණයත් සමඟින් දිවයින පුරා පිහිටි ද ෆිනෑන්ස් සමාගමේ ශාඛාවලට මුද්‍රා තැබීමට මහ බැංකු බලධාරීන්ගේ ප්‍රමුඛත්වයෙන් පියවර ගැනුණු අතර බොහෝ ශාඛා ඉදිරිපිට උණුසුම් තත්ත්වයන් දැකගත හැකිවූයේ, තැන්පතුකරුවන්ගේ මුදල් නැවත ගෙවීම සම්බන්ධයෙන් නිශ්චිත භාවයක් ඉදිරිපත් නොවීම හේතුවෙනි.

    කෙසේ වෙතත් ද ෆිනෑන්ස් සමාගමේ මෙම බලපත්‍රය අවලංගු කිරීමේ නිවේදනය නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාපිත, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාරක ක්‍රමය මගින්, එහි රක්ෂණය කර ඇති තැන්පතුකරුවන් සඳහා, පවතින නීති හා විධිවිධාන යට‍තේ තැන්පතු සඳහා වන්දි මුදල් ගෙවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

    ඒ අනුව ද ෆිනෑන්ස් ආයතනයේ සමස්ත තැන්පතුකරුවන්ගෙන් 93%කට (තැන්පතුකරුවන් 145,172ක් අතරින් 135, 100කට) තම මුළු මුදල ම ආවරණය කරගැනීමට හැකියාවක් ඇති අතර අනෙකුත් 7%ක (තැන්පතුකරුවන් 10,072කට) තැන්පතුකරුවන් හට තමන්ගේ තැන්පතු මුදලින් කොටසක් වශයෙන් රු. 600,000ක මුදලක් ලැබෙන අතර ඉතිරි මුදල ආයතනය ඈවර කරන අවස්ථාවේ දී හිමිකම් පෑමේ ප්‍රමුඛතාවන්ට යටත් ව ආවරණය කර ගැනීමේ හැකියාවක් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් කියා සිටී.

    වන්දි මුදල් ගෙවීම සම්බන්ධ ව වැඩිදුර තොරතුරු ඉදිරියේ දී සන්නිවේදනය කරනු ඇති බවත් තවදුරටත් පැහැදිලි කර ගැනීම් අවශ්‍ය නම් පහත දක්වා ඇති ක්‍රම ඔස්සේ විමසීම් සිදු කළ හැකි බවත් ශ්‍රී ලංකා මහ බැංකුව දන්වා සිටී.

    ආයතනය අවශ්‍යතාව දුරකථන අංක විද්‍යුත් ලිපිනය
    බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව බලපත්‍රය අවලංගු කිරීම සම්බන්ධ විමසීම් සඳහා 011 2477573
    011 2477229
    011 2477504
    snbfi_query@cbsl.lk
    නිරාකරණය හා බලගැන්වීමේ දෙපාර්තමේන්තුව තැන්පතු රක්ෂණ ක්‍රමය යටතේ මුදල් ගෙවීම සම්බන්ධ විමසීම් සඳහා 011 2398788  dred@cbsl.lk
    ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය තැන්පතු සම්බන්ධ විමසීම් සඳහා 011 2557888
    011 2580210
     info@thefinance.lk
    ආයතනයෙන් ලබාගත් උකස් ණය සම්බන්ධ විමසීම් සඳහා 071 1359248
    ආයතනයෙන් ලබාගත් අනෙකුත් ණය මුදල් සම්බන්ධ විමසීම් සඳහා 071 4086248
    071 1864361