‘ධම්මික – අනිලානා‘ ගනුදෙනුවේ ඇත්ත කතාව

    May, 13, 2016

    ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත අනිලානා හෝටේල්ස් ඇන්ඩ් ප්‍රොපටීස් පීඑල්සී මිල දී ගනු ලැබූ බව පසුගිය දින කිහිපය තුළ කොටස් වෙළෙඳපොළ තුළ මෙන්ම ඉන් පරිබාහිරවත් පැතිරුණු රාවයකි. මේ සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කිහිපයක් පළවී තිබීම ද බොහෝ දෙනාගේ අවධානය ඒ දෙසට යොමු කරලීමට සමත්විය. කෙසේ වෙතත් මේ දක්වා නිල වශයෙන් එවැනි ගනුදෙනුවක් සිදුවූ බවට කිසිදු පාර්ශවයක් විසින් හෝ තහවුරු කර නොමැත.

    අනිලානා හොටේල්ස් ඇන්ඩ් ප්‍රොපටීස් යනු ලැයිස්තුගත සමාගමකි. එනම් මහජන හිමිකාරීත්වයක් සහිත සමාගමකි. එවැනි සමාගමක මිල සංවේදී යම් සිදුවීමක් සිදුවිණි නම් වහාම එය මහජනයා වෙත අනාවරණය කළ යුතු බව කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත නීතිරෙගුලාසිවලට අදාළ ආයතනික අනාවරණයන් සම්බන්ධයෙන් ඇති 8 වෙනි කොටසෙහි මනාව දක්වා තිබේ. එහි 8A උපග්‍රන්ථයෙහි දැක්වෙනුයේ වහාම අනාවරණයන් සිදුකළ යුතු අවස්ථාවන් මොනවාද යන්නයි. එම උපලේඛනයෙහි 8 වෙනි කරුණ ලෙස දක්වා තිබෙන්නේ සමාගමේ අයිතිය පිළිබඳ වෙනස්වීමක් සිදුවුවහොත් එය හැකි ඉක්මණින් අනාවරණය කළ යුතු කරුණක් බවයි.

    පහත දැක්වෙන්නේ එම උපලේඛනයෙන් උපුටා ගත් කොටසකි.

    අනිලානා හොටේල්ස් ඇන්ඩ් ප්‍රොපටීස් හි 50% ක පමණ කොටස් හිමිකාරීත්වයක් දරනුයේ අසංග සෙනෙවිරත්න මහතා විසිනි. ඔහු එහි කළමනාකාර අධ්‍යක්ෂවරයායි. 2015 දෙසැම්බර් 31 දින වන විට සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 27% ක් ඔහු නමින් හා ඔහු කළමනාකාර අධ්‍යක්ෂ ධූරය හොබවන Investor Access Equities pvt Ltd නමින් 12% ක් හා අධ්‍යක්ෂ ධූරය දරන Asia Fort Asset Management ltd නමින් 8.67% ක් වන පරිදිපෙළ ගැසී තිබුණි. පහත දැක්වෙන්නේ අනිලානා හොටේල්ස් ඇන්ඩ් ප්‍රොපටීස් හි ප්‍රධාන කොටස් හිමියන් පිළිබඳ විස්තරයයි.

    ඒ අනුව අනිලානා හොටේල්ස් ඇන්ඩ් ප්‍රොපටීස් හි අයිතියේ වෙනසක් සිදුවන්නේ නම් අනිවාර්යයෙන්ම අසංග සෙනෙවිරත්න මහතාගේ කොටස් අයිතිය විකිණිය යුතුය. එහෙත් පසුගිය මාසය පුරාවටම එවැනි ගනුදෙනුවක් කොටස් වෙළඳපොළ හරහා සිදු වී නැත. පහත දැක්වෙන්නේ 2016 අප්‍රේල් 01 සිට මැයි 12 වන දක්වා අනිලානා අනිලානා හොටේල්ස් ඇන්ඩ් ප්‍රොපටීස් හි සම්පුර්ණ කොටස් ගනුදෙනු වාර්තාවයි. ඊට අනුව අනිලානා හි අයිතිය වෙනස්වන ආකාරයේ ගනුදෙනුවක් සිදුව ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැත.

    එහි දැක්වෙන පරිදි 2016 මැයි 05 වන දින සමාගමේ කොටස් මිලියන 13කට අධික ප්‍රමාණයක් ගනුදෙනු වී තිබිණි. එදින රු. 3.00 සිට 3.70 දක්වා මිල ගණන්වලට එහි සාමාන්‍ය කොටස් ගනුදෙනු සිදුව තිබිණි. මැයි 05 යනු ‘ධම්මික - අනිලානා‘ පුවත මුල්වරට වෙබ් මාධ්‍ය අඩවිවල පළවූ දිනයයි.

    මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී කොටස් වෙළඳපොළ විශ්ලේෂකයින් කිහිප දෙනෙකු විසින්ම තහවුරු කරනු ලැබුයේ අනිලානා හොටේල්ස් ඇන්ඩ් ප්‍රොපටීස් හි අයිතිය වෙනස්වන ආකාරයේ කිසිදු ගනුදෙනුවක් පසුගිය දින කිහිපය තුළ සිදුනොවූ බවයි. ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර සිටියේ අදාළ මාධ්‍ය වාර්තා මහජනයා නොමඟ යවන සුළු ඒවා බවයි.

    2016 මුල් කාර්තුව තුළ දී අසංග සෙනෙවිරත්න මහතා සිය කොටස් හිමිකාරිත්වයෙන් මිලියන 3 කට ආසන්න කොටස් ප්‍රමාණයක් විකුණා තිබිණි. එය සමාගමේ සමස්ත කොටස් ප්‍රමාණය වන 493,308,514 හා සැසඳීමේ දී 1% කටත් අඩු ප්‍රමාණයකි. එබැවින් සමාගමේ හිමිකාරීත්වයෙහි වෙනසක් වීමට එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව පැහැදිලිය.

    මේ අතර සමාගමේ විධියක අධ්‍යක්ෂ මංජුල විරාජ් පෙරේරා මහතා 2016 අප්‍රේල් 30 වන දින සිට තම තනතුරින් ඉල්ලා අවස්වන බව පසුගිය මැයි 05 දා නිවේදනය කර තිබුණි. ඒ හැරෙන්නට ගෙවී ගිය සති 6 ක පමණ කාලය තුළ කිසිදු සුවිශේෂී වෙනස්කමක් අනිලානා හොටේල්ස් ඇන්ඩ් ප්‍රොපටීස් පීඑල්සී තුළ සිදුවූ බවට වාර්තා වන්නේ නැත.