ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයෙන් රැකියා 120,000ක්

    June, 5, 2017

    2019 අවසන් වන විට රැකියා දසලක්ෂයක් බිහි කිරීමේ රජයේ වැඩපිළිවෙළට සහයෝගය පළ කරමින් රැකියා අවස්ථා 120,000ක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ක්ෂේත්‍රයෙන් බිහි කිරීමට පියවර ගන්නා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර  මහතා පවසයි.
    ඒ සඳහා මේ වනවිට පියවර රැසක් ගෙන ඇති බව පවසන අමාත්‍යවරයා මන්නාරම අක්කර 3000ක හා මඩකලපුව අක්කර 2000ක ඉදි කෙරෙන ජලජීවි වගා කර්මාන්ත උද්‍යාන දෙක  Aqua culture Industrial Park යටතේ රැකියා අවස්ථා 40,000ක් නිර්මාණය කරන බවත්, එවැනි තවත් ජලජීවි වගා උද්‍යානයක් දකුණු පළාතේ හම්බන්තොට ඉදි කෙරෙන අතර, එය  කකුළුවන් අපනයන නගරය Crab City  වශයෙන්  පිහිටුවීමට පියවර ගන්නා අතර එමගින්  රැකියා අවස්ථා 20,000ක් නිර්මාණය කිරීමට ඉළක්ක කර ඇති බවත් කීය.
    මීට අමතරව හම්බන්තොට ඉදි කෙරෙන මාතර වැලිගම කප්පරතොට ඉදි වන මත්ස්‍ය හා ජලජ පැලෑටි ආශ්‍රීත ආහාර මධ්‍යස්ථානය, ජලජීවි අභිජනන මධ්‍යස්ථාන හා වැව් හා ජලාශ  ආශ්‍රිත ව ක්‍රියාත්මක කරන මත්ස්‍ය සම්පත සියයට 100කින් ඉහළ නැංවීමේ වැඩ පිළිවෙලට අනුව තවත් රැකියා අවස්ථා 60,000ක් නිර්මාණය කිරීමේ ඉළක්කය ජයගත හැකි බව ද අමාත්‍යවරයා කීය.
    ඒ අනුව රජය විසින් රැකියා දසලක්ෂයක් බිහි කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළට ධීවර කර්මාන්තය ආශ්‍රිතව ඉහළ ආදායම් ලැබිය හැකි රැකියා අවස්ථා 120,000ක් නිර්මාණය කිරීමේ අභියෝගය ජය ගන්නා බව ද අමාත්‍යවරයා පැවසීය.