ධූරයෙන් ඉවත් නොවන්නැයි මහ බැංකු අධිපතිට ඉල්ලීම් රැසක්

    May, 19, 2022

    ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගිය මැයි 11 දින පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ, රටේ පවතින දේශපාලන අස්ථාවරත්වය තවදුරටත් පැවතියහොත් තමා තනතුරෙන් ඉවත්වීමට කටයුතු කරන බවයි. එසේම දේශපාලන අස්ථාවරත්වයක් පවතින අවස්ථාවක මහ බැංකු අධිපති තනතුරුට තමන් නොව වෙන අයෙකු පත්වුවත් එහි නිසි පරිදි කටයුතු කර ගැනීමට යා නොහැකි වනු ඇති බව ඔහු එහිදී අවධාරණය කළේය.

    මේ අතර අද (18) පැවති මාධ්‍ය හමුවක දී අදාළ තත්ත්වය සම්බන්ධයෙන් මේ වන විට තම ස්ථාවරය කුමක්දැයි අද දෙරණ විසින් මහ බැංකු අධිපතිවරයාගෙන් විමසා සිටියේය. ඊට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ, මේ වන විට රට තුළ යම්කිසි දේශපාලන ස්ථාවරත්වයක් ඇති වී තිබෙන බවයි.

    තවද බොහෝ පිරිසක් තමාට ධුරයෙන් ඉවත් නොවන ලෙසට ඉල්ලීම් කළ බව ද මහ බැංකු අධිපතිවරයා මෙහිදී අනාවරණය කළේය.

    “මම ගිය අවස්ථාවේ දී ප්‍රකාශ කළේ ඒ අවසථාවේ දී තිබුණ දේශපාලන අස්ථාවරත්වය දිගටම එහෙම පවතිනවා නම් එතකොට මහ බැංකුවක් වශයෙන් මොනම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළත් ඒක සාර්ථකව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට මම නෙවෙයි කවුරු වුනත් ඒ කාර්යය කරන්න අමාරුයි. ඒක නිසා එවැනි අවස්ථාවක දී මම තනතුරේ රැදී සිටින්නේ නැහැ කියලා තමයි ඒ වෙලාවේ ප්‍රකාශ කළේ, ඒ තත්ත්වයෙදි.“

    “එතකොට එදා තිබුණු තත්ත්වය සහ අද තිබෙන තත්ත්වය බලනකොට මේ වෙන කොට දැනට යම් කිසි ආකාරයක පාර්ලිමේන්තුවේ අගමැතිවරයෙක් පත් කරලා තියෙනවා. කැබිනට් මණ්ඩලයක් පත් කරලා තියෙනවා. එදා කැබිනට් මණ්ඩලයක් තිබුනෙත් නැහැ. අගමැතිවරයත් අස්වෙලා තිබුනේ. ජනාධිපතිවරයා ඇතුළු පාර්ලිමේන්තු මණ්ඩලය හිටියට යම්කිසි ක්‍රියාදාමයක්, administration තිබුනේ නැහැ. නමුත් අද යම්කිසි ආකාරයක අගමැති කෙනෙක් ඉන්නවා, කැබිනට් මණ්ඩලයක් ඉන්නවා. පාර්ලිමේන්තුව රැස් වෙනවා. එතකොට යම්කිසි නීතී යම්කිසි විදිහකට ක්‍රියාත්මක කරන්න පුළුවන්.“

    “එතකොට එදා ඉඳන් අද වෙනකොට මෙකේ, ඒ වගේම රටේ තිබුණු ප්‍රචණ්ඩත්වය සම්පූර්ණයෙන්ම වගේ නැති වෙලා සාමකාමී තත්ත්වයක් තියනවා. සාමකාමී විරෝධතා පැවැත්වෙන්න පුළුවන්. ඒවා එදත් තිබුණා අදත් තිබුනා. ඒකේ කිසි ගැටළුවක් නැහැ, දේශපාලන හා සමාජ ස්ථාවරත්වයට. එහෙම බැලුවහම ලොකු යම්කිසි නිවැරදි මාර්ගයකට ප්‍රගතියක් තියනවා කියන එක තමයි මම දකින්නේ. ඒක නිසා මම හිතන්නේ නැහැ ඒ ආකාරයෙන්ම තව සතියක් දෙකක් තිබුනනම් මම හිතන්නේ රට ගොඩ ගන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. නමුත් දැන් අපි බැලුවාම තේරුම් ගන්න හැටියට අපිට පේනවා අපේ පාර්ලිමේන්තුව වුනත් කවුරුත් එකතු වෙලා යම්කිසි දෙයක් කරන්න ඕන කියන මතයකට එනවා වගේ පෙනුමක් තියනවා. ඒකේ යම්කිසි පැහැදිලිව ඒ පැත්කට ගමන් කෙරන බවකුත් පේනවා. ඒක නිසා මම හිතන්නේ දැන් ගොඩ දෙනෙක් ඉල්ලීමක් කරලා තියනවා, බහුතරයක් ඉල්ලීමකුත් කරා මම ඒ ප්‍රකාශය කරාට පස්සේ, යන්න එපා කියලා. ඒක වෙනම මගේ පුද්ගලික මතයක්. මම හිතන්නේ මම කරපු ප්‍රකාශය අනුව ඒ තිබුනු වාතාවරණයට වඩා යම්කිසි ප්‍රගතියක් තියනවා.“

    මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති නිවේදනය ප්‍රකාශයට පත් කරමින් අද දින කියා සිටියේ, මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග රපය විසින් ප්‍රමාණවත් සහ කාලෝචිත ප්‍රතිපත්ති ගැළපීම් මගින් ශක්තිමත් කළ යුතු බවයි.

    අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

    ආර්ථික තත්ත්වය තව දුරටත් පිරිහීම වැළක්වීම සඳහා සහ මහ බැංකුව විසින් මෙතෙක් ක්‍රියාත්මක කර ඇති ක්‍රියාමාර්ගයන්ට සහාය වීමට, පොදු එකඟතාවයකින් යුතු පාලනය සහ සමාජ සංහිඳියාව තුළින් ඉහළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීමට ඇති කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය වේ.

    මීට අමතරව, මහ බැංකු මූල්‍යනය මත අධික ලෙස රඳා පැවතීම වැළැක්වීම සහ මැදි කාලීනව රාජ්‍ය මූල්‍ය තිරසාරභාවය පවත්වා ගැනීම සඳහා උපකාරී වන රාජ්‍ය මූල්‍ය කාර්යසාධනය ශක්තිමත් කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය වේ.

    තව ද, පෙර නොවූ ආර්ථික තත්ත්වයන් හේතුවෙන් බලපෑමට ලක් වූ සමාජයේ අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට සහාය වීම සඳහා සමාජ සුභසාධන වැඩසටහන්වල කාර්යක්ෂමතාව වැඩි දියුණු කරන අතරම බලශක්ති සහ සම්බන්ධ රජය සතු  වාණිජ ව්‍යාපාර වල මූල්‍ය තත්ත්වය ශක්තිමත් කිරීම සඳහා බලශක්ති අංශයේ මිල ගණන්  කඩිනම් සහ විනිවිධභාවයකින් යුක්තව සංශෝධනය කිරීමේ ප්‍රමුඛතාවයක් ලෙස පවතී.