නවතම ඉන්ටෙල් ප්‍රොසෙසරයෙන් බලගැන්වුණු DELL ලැප්ටොප් පරිගණක, දැන් සිංගර් වෙතින්

    January, 25, 2021

    ශ්‍රී ලංකාවට නවතම ලැප්ටොප් පරිගණක අත්දැකීමක් හඳුන්වා දෙමින් ඉන්ටෙල් 11 වැනි පරම්පරාවේ (11th Gen) නවීන ඩෙල් ලැප්ටොප් පෙළක් එළිදැක්වීමට සිංගර් ශ්‍රී ලංකා සමාගම පසුගියදා පියවර ගත්තේය.

    ශ්‍රී ලංකාවේ පාරිභෝගික භාණ්ඩ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා සමාගම, මෙරට ලැප්ටොප් පරිගණක වෙළෙඳපොළ තුළ ද සිය ආධිපත්‍යය පතුරුවා ලීමට සමත්ව සිටී. මෑතකදී ශ්‍රී ලංකාවේ අංක එකේ පරිගණක අලෙවිකරු බවට මෙන්ම, මෙරට තුළ Dell ලැප්ටොප් පරිගණක අලෙවියේ වැඩි ම වෙළෙඳපොළ කොටසට හිමිකම් කීමට ද සිංගර් සමාගම සමත්වීම ඒ බව තහවුරු කරයි.

    අධි බලැති 11th Gen ඉන්ටෙල් ප්‍රොසෙසරය සහිත මෙම නවතම ලැප්ටොප් පරිගණක පෙළ, මෙරට පාරිභෝගිකයින්ට වේගවත් හා කාර්යක්ෂම ලැප්ටොප් අත්දැකීමක් සමඟ නවතම තාක්ෂණය හා බහුවිධ ක්‍රියාකාරීත්වයක් සැපයීමට සමත් ය. ‘ටයිගර් ලේක්‘ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන මෙම ප්‍රොසෙසරය භාවිත කෙරෙනුයේ, ලොව විශිෂ්ටත ම සිහින් හා සැහැල්ලු ලැප්ටොප් නිර්මාණය වෙනුවෙනි.

    ඉන්ටෙල් සමාගම පවසන ආකාරයට, මීට පෙර පරම්පරාවන්ට අයත් ප්‍රොසෙසර්වලට වඩා මෙම 11th Gen ඉන්ටෙල් ප්‍රොසෙසරය, ඉහළ ක්‍රියාකාරීත්වයකින් හා වේගවත් ප්‍රතිචාර දැක්වීමේ ශක්තියකින් යුතු අතර ම වැඩි බලශක්ති කාර්යක්ෂමතාවක් ද පිරිනමයි. ඉන්ටෙල් සමාගම හඳුන්වා දෙන නවතම Xe ග්‍රැෆික් කාඩ්පත ද මෙම ප්‍රොසෙසරයේ අන්තර්ගත වීම තවත් විශේෂත්වයකි. සුපිරි දසුන් ලබාදෙන මෙම තාක්ෂණය, ග්‍රැෆික් නිර්මාණකරුවන්ට, සංස්කාරකයින්ට හා පරිගණක ක්‍රීඩාවන්හි නියුතු වන්නන්ට කදිමට ගැලපේ.

    මෙම Xe කාඩ්පත් හරහා බාහිර ග්‍රැෆික් කාඩ්පත් යෙදීමකින් තොරව ම තම ලැප්ටොප් පරිගණක භාවිත කිරීමේ හැකියාව පාරිභෝගිකයින්ට උදා වේ. පරිගණක උපාංග සංසන්දනයේදී තහවුරු වී ඇති ආකාරයට, බොහෝ ලැප්ටොප් පරිගණකවලට අමතර උපාංගයක් ලෙස යොදාගන්නා  Nvidia MX350 ග්‍රැෆික් කාඩ්පතට සමාන කාර්යභාරයක් නවතම ඉන්ටෙල් ග්‍රැෆික් කාඩ්පතට ද ඉටු කළ හැක. එම නිසා අමතර ග්‍රැෆික් සහායකින් තොරව ඉහළ දෘශ්‍ය තාක්ෂණයක් අවශ්‍ය කාර්යයන් ඉතා කාර්යක්ෂමව සිදුකළ හැක.

    මේ අතර සිය Dell පරිගණක පෙළ තවත් වර්ධනය කරගනිමින් නවතම Dell 3000 පරිගණක පෙළ හඳුන්වා දීමට ද සිංගර් කටයුතු කළේය. විශිෂ්ට නිමාවකින් යුත් මෙම අලංකාර පරිගණක පෙළ එහි හැඩරුව අතින් 10 වැනි පරම්පරාවේ 5000 ලැප්ටොප් පරිගණක පෙළෙහි සුන්දරත්වය මුසු කරගනිමින් නිර්මාණය කර තිබේ. වෙළෙඳපොළ තුළ ඇති විශිෂ්ටත ම පාරිභෝගික ලැප්ටොප් මාදිලි පෙළ Dell 5000 වන අතර, එහි තත්ත්වය තවදුරටත් වර්ධනය කිරීම සඳහා එම විශිෂ්ට නිමාව වඩාත් ඔප් නංවා ඇත.

    පරිගණක ක්‍රියාකාරීත්වයේ නව මාන සොයා යමින් 11 වැනි පරම්පරාවේ ප්‍රොසෙසර යෙදූ, Dell XPS ලැප්ටොප් පරිගණක පෙළ ද සිංගර් හරහා මිලදී ගත හැක. එය 2020 වසරේ හොඳ ම ලැප්ටොප් පරිගණකය ලෙස ද පිළිගැනීමට ලක්විය. Dell සමාගමේ අභිප්‍රාය වී ඇත්තේ, 11 වැනි පරම්පරාවේ නවීනතම ප්‍රොසෙසරයක් ඊට එක් කිරීමෙන් 2021 වසරේදී ද හොඳම ලැප්ටොප් පරිගණකය බවට එය පත්කිරීම ය.

    දිවයින පුරා පිහිටි 400කට වැඩි ප්‍රදර්ශනාගාරවලින් යුතු සිංගර් හි පුළුල් බෙදාහැරීම් ජාලය හේතුවෙන් ඉතා ම පහසුවෙන් මෙම 11 වැනි පරම්පරාවේ Dell පරිගණක මිලදී ගැනීමේ හැකියාව පාරිභෝගිකයින්ට උදා වී තිබේ. විශේෂයෙන් ම සිංගර් හඳුන්වා දෙන පහසු ගෙවීමේ ක්‍රම හරහා ඉතා ම සාධාරණ මිලකට මෙම නවීන ලැප්ටොප් පරිගණක මිලදී ගත හැක. තව ද සිංගර් හි ඩිජිටල් අලෙවි බිහිදොර වන www.singer.lk හරහා ද විශිෂ්ට පාරිභෝගික අවධානයක් සමඟින් වඩාත් පෞද්ගලික පරිශීලක අත්දැකීමක් පාරිභෝගිකයින්ට හිමි වේ. එමගින් ද Dell නිෂ්පාදන හා ආකර්ෂණීය දීමනා පිළිබඳ තොරතුරු ලබාගැනීමේ අවස්ථාව උදා වේ.

    අභියෝගාත්මක වසරක් වුවද ගෙවුණු කාලය තුළ ඉහළ වර්ධනයක් සමඟ සාර්ථක ප්‍රතිඵල නෙලා ගැනීමට, Dell සහ සිංගර් සහයෝගීතාවට හැකිවිය. Dell සතු ලොව උසස් ම තාක්ෂණයත්, සිංගර් ගෙනෙන බහුවිධ වටිනාකම් පෙළ හා සේවා ප්‍රමිතීන් ද හේතුවෙන් මෙම වර්ධනීය අවකාශය උදා වී තිබේ. 2021 වර්ෂය තුළ දී ද එවැනි ම සාර්ථකත්වයක් ළඟා කරගැනීමට අපේක්ෂිත ය.