නවීන නිවාස විසඳුම් සඳහා ලෑන්ඩ්මාක් ඩිවෙලොපර්ස් විසින් “Nano Homes” ඉදිකිරීම් අරඹයි

    April, 15, 2018

    ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කුඩා පරිමාණයේ නිවාස අවශ්‍යතා සහිත වූවන් සඳහා වන විසඳුමක්

    නවීන සංකල්ප රැසක් සමඟ  මෙරට නිවාස සංවර්ධන ක්ෂේත්‍රයට පිවිසි  ලෑන්ඩ්මාර්ක් ඩිවෙලොපෙර්ස් විසින් මෙරට කුඩා පරිමාණයේ සුපිරි  නිවාස අවශ්‍යතා සහිත වූවන් වෙනුවෙන්  “Nano Homes” නිවාස ඉදිකිරීම අරඹයි. තිරසර ඉදිකිරීමක් සහ පෙරසවි ඉංජිනේරු තාක්ෂණය යටතේ  මෙම නිවාස ඉදිකිරීමට අපේක්ෂිතය.

    සිය පළමු නිවහන මිලදී ගැනීමට කැමැත්තෙන් පසුවන වත්මන්  තරුණ පරපුරේ නිවාස අවශ්‍යතාවට ගැලපෙන ආකාරයට ඉදිවන මෙම නිවාස අවම නඩත්තු වියදමක් සහිත නිවසක් අපේක්ෂා කරන විශ්‍රාම වයසේ පසුවන වැඩිහිටි වියේ පසුවන්නන් සඳහාද ගැලපෙන ආකාරයට නිර්මාණය කර තිබේ. මහල් දෙක හෝ මහල් 3ක් ආකාරයට  “Nano Homes”ඉදිවන අතර සම්පූර්ණ වර්ග ප්‍රමාණය වර්ග අඩි 1500සිට මිලදී ගැනීමේ හැකියාව පවතී.

    වාහන දෙකක් නැවැත්වීමේ පහසුකම්, නිදන කාමර දෙකක් හෝ තුනක්, නානකාමර දෙකක් සහ මුළුතැන්ගෙය, කෑම කාමරය , ආලින්දය ආදී අංග වලින් මෙම නිවාස සමන්විත වෙයි.

    සීමිත බිම් කඩක ඉදිකළ හැකි මෙම “Nano Homes”ආකර්ශණීය නිමාවකින් යුක්ත වීම විශේෂත්වයකි. ස්වාභාවික පරිසරයට වැඩි ඉඩක් ලබාදෙමින් ඉදි කෙරෙන මෙම නිවාස මිනිසුන් අතර සුහදතාව වඩා වර්ධනය වන ආකාරයට නිමවා තිබීමද විශේෂත්වයකි. ස්මාර්ට් තාක්ෂණයට අනුව ඉදිවන මෙම නවතම නිවාස තම කැමැත්ත අනුව ඉදිකරවා ගැනීමට හැකිවීම නිසා පාරිභෝගිකයාගේ නිදහස ද ආරක්ෂා කර දෙයි. මෙම නිවාසවල කාමර ගණන ,  නාන කාමර මෙන්ම පොළවෙහි ස්වභාවය යනාදි විශේෂාංග අතින් එකකට එකක් වෙනස් ආකාරයට නිමවා තිබීම ද විශේෂත්වයකි.

    නිර්මාණාත්මක ක්ෂේත්‍රයේ වසර තිහකට වැඩි කාලයක පළපුරුද්දක් සහිත ව්‍යාපාරික කාන්තාවක් විසින් මෙහෙයවන ,  නවීන නිර්මාණශීලි තරුණ කණ්ඩායමකින් සැදුම්ලත්  ලෑන්ඩ්මාක් ඩිවෙලොපර්ස් ආයතනය  සියලු දේපළ හා නිවාස ක්ෂේත්‍රයේ සියලු විසඳුම් එකම වහලක් යටින් ලබාගත හැකි ස්ථානයක් ලෙස හැඳින්විය හැකිය. සුහදශීලි පාරිභෝගික සේවය, පාරිභෝගික අවශ්‍යතා සඳහා ඇති නම්‍යශීලි බව  සහ  සෑම පාරිභෝගිකයෙකුම විශේෂ කොට සැලකීමේ ගුණය යනාදී කරුනු අතින් ද ලෑන්ඩ්මාක් ඩිවෙලොපර්ස් විශේෂත්වයක් දරන සමාගමකි.  නීතිමය, මූල්‍ය, බැංකු උපදේශන ආදී ක්ෂේත්‍ර රැසක නිරතව සිටින ලෑන්ඩ්මාක් ඩිවෙලොපර්ස් සමාගම ජාත්‍යන්තර මට්ටම දක්වා සිය සේවා විහිදුවා ඇති සමාගමකි. ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා සහ ටෙක්සාස් යන ප්‍රාන්ත වල මෙන්ම ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්, සිඩ්නි, පර්ත්,  සහ බ්‍රිස්බෙන්  ආදී නගර වල දේපළ වෙළඳාම් ප්‍රවීනයන් හා එක්ව ව්‍යාපාර කටයුතු මෙහෙයවයි.

    සිය අනන්‍ය වූ සංකල්පය වන “Nano Homes” සංකල්පය පිළිබඳව අදහස් දක්වමින් ලෑන්ඩ්මාක් ඩිවෙලොපර්ස් හි කළමණාකාර අධ්‍යක්ෂ එක්සිත් හපන්ගම සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයට ලෑන්ඩ්මාර්ක්  ඩිවෙලොපර්ස් විසින් නව අර්ථකථනයක් සැපයූ බවයි. ක්ෂේත්‍රයේ අවධානම් දරමින් හඳුන්වා දුන් නව සංකල්පය වන “Nano Homes” විසින් අනාගත නිවාස වෙළඳ පළෙහි ස්වරූපය වෙනස් කරනු ඇති බවටද හෙතෙම විශ්වාසය පළ කළේය. නවීන ආකාරයට සිතන ඕනෑම අයෙකුට  සරිලන මෙම නව “Nano Homes”ජීවිතය පහසු කරවන  පහසුකම් රැසකින් සමන්විත වන  බවත් මෙම නිවාස වල සෑම බිම් අඟලක්ම පාරිභෝගිකයාට සුවිශේෂි වන ආකාරයට නිමවා තිබීම විශේෂත්වයක් බවත් ඒ මහතා සඳහන් කළේය. පෙරසවි ඉංජිනේරු  තාක්ෂණය යොදාගනිමින් තිරසර ලෙස ඉදිකළ මෙම “Nano Homes” නිවාස  සඳහා වන වියදම් අවම වීම නිසා පාරිභෝගිකයාට විශේෂ වාසියක් හිමිවන බවද හෙතෙම පැවසීය.

    අනිකුත් නිවාස සංකීර්ණ හා සැසදීමේදී “Nano Homes” වඩා හොඳ බව පෙන්වා දෙන හෙතෙම සඳහන් කළේ “Nano Homes” ඉදිකිරීමේදී සිදුවන පරිසර හානිය සහ අසල්වාසීන්ට සිදුවන අවහිරය අවම වීම ඊට ප්‍රධාන හේතුව ලෙස දැක්විය හැකි බවයි. මේ දිනවල නිවාස සංකීර්ණ ඉදිකරන ස්ථාන ආශ්‍රිතව වාර්තා වන  විවිධ සිදුවීම් මීට උදාහරණ ලෙස දැක්විය හැකි බවද  හෙතම පෙන්වා දුන්නේය. දැවැන්ත නිවාස සංකීර්ණ ඉදිකිරීමේදී  පොළව හෑරීමට යොදාගන්නා යන්ත්‍ර නිසා අවට නිවාස ඉරිතලා යාම්,  ස්වාභාවික සම්පත් විනාශ වීම්, ශබ්ද දූෂණය, අසල්වැසියන්ට මුහුණ පෑමට සිදුවන රථවාහන තදබදය ආදී තත්වයන් මෙම “Nano Homes” සංකල්පය මඟින්  අවම වන බවත්, මෙම සංකල්පය ඔස්සේ සරල පරිසර හිතකාමී නිවාස ඉදිකිරීමක් සිදුවන බවත් පෙන්වා දුන්නේය.

    “Nano Homes” ව්‍යාපෘතියට අමතරව ලෑන්ඩ්මාක් ඩිවෙලොපර්ස් විසින්  සුළු, මධ්‍ය හා මහා පරිමාණ ඉදිකිරීම් රැසකට දායක වී තිබේ.මේ වනවිටත් මධ්‍ය පරිමාණ සහ සුවිසල් ගොඩනැගිලි රැසක කළමණාකාර කටයුතු මෙහෙයවමින් ඒවා ඉදිකිරීමේ ක්‍රියාවලිය සඳහා මැදිහත්වීමට සහ උසස් පාරිභෝගික සේවාවක් සැපයීමට ලෑන්ඩ්මාක් ඩිවෙලොපර්ස් සමත්වී තිබේ.  “Comfort Dwellings”  යන ප්‍රකට නිවාස ව්‍යාපෘතිය අඩුවියදම් සහිත,උසස් තතවයේ නිවාස ව්‍යාපෘතියක් වන අතර  එම නිවාස තලාහේන, මාලඹේ, අතුරුගිරිය, තලංගම, කඩුවෙල, කොට්ටාව සහ හෝමාගම යනාදී ප්‍රදේශවල පිහිටා තිබේ.