නව තෙල් පිරිපහදුවක්. ඩොලර් මිලියන 3,850 ක ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම සෘජු විදේශ ආයෝජනය හම්බන්තොට මිරිජ්ජවිලට

    March, 19, 2019

    එළඹෙන මාර්තු 24 වෙනි දින ශ්‍රී ලංකාවට ඓතිහාසික දිනයක් වන බවත්, එතෙක් මෙතෙක් මෙරට ඉතිහාසයේ වාර්තා වූ වැඩිම සෘජු විදේශ ආයෝජනය වන ඇමරිකානු ඩොලර් මිලියන 3,850 ක ආයෝජනයකින්, හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ, සිල්වර්පාක් ඉන්ටර්නැෂනල් තෙල් පිරිපහදුවේ වැඩ කටයුතු එදින ආරම්භ වන බවත් සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසයි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,

    “අපේ රටේ ඉතිහාසය තුළ, එතෙක් මෙතෙක් වූ දැවැන්තම ආයෝජනය හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ සිද්ධ වෙනවා. ඩොලර් මිලියන 3,850 ක් සෘජු විදේශ ආයෝජනයක් වන සිල්වර්පාක් ඉන්ටර්නැෂනල් තෙල් පිරිපහදුවේ වැඩකටයුතු ආරම්භ වෙනවා. මෙය අතිදැවැන්ත ආයෝජනයක්. මෙය හම්බන්තොට වරාය ඉදිකිරීමට ගිය මුදල වගේ තුන් ගුණයක්.“

    “1967 තමා අවසාන වරට අපේ රටේ තෙල් පිරිපහදුවක් නිර්මාණය වෙලා, වැඩ ආරම්භ වෙන්නේ, සපුගස්කන්ද තෙල් පිරිපහදුව. ඒ වගේ පස් ගුණයක් ධාරිතාවක් තියෙනවා. බැරල් ලක්ෂ 2 ක් දෛනිකව නිෂ්පාදනය කරන්න පුළුවන් මේ තෙල් පිරිපහදුවෙන්. මාස 44 කින් වැඩ අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.“

    “මේකේ පළවෙනි කොටස විදියට තෙල් ටැංකි සංකීර්ණයේ වැඩකටයුතු මේ මාසේ් 24 වෙනිදා අගමැතිතුමාගේ මූලිකත්වයෙන් ආරම්භක මහෝත්සවය සිදුවෙනවා. වැදගත්ම කාරණය තමයි හම්බන්තොට වරාය සක්‍රීය වරායක් බවට පත් කරන්න මේ හරහා අවස්ථාව උදාවෙලා තියෙනවා.“

    මෙම ආයෝජනය සිංගප්පූරුවේ සිල්වර්පාක් ඉන්ටර්නැෂනල් (පුද්ගලික) සමාගම සහ ඕමාන් සුල්තාන් රාජ්‍යයේ තෙල් හා ගෑස් අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව පිහිටුවා ගත් ව්‍යාපාරයක් මගින් සිදුකෙරෙන ආයෝජනයක් වන අතර පිළිවෙලින් 70% ක් හා 30% ක් බැගින් මෙම සමාගමේ අයිතිය සිංගප්පූරුව හා ඕමානය සතුව පවතී.