නව රජයේ අයවැය හිඟය සපුරාගැනීම අභියෝගයක් – මූල්‍ය අරමුදල කියයි

    March, 4, 2015

    පසුගිය මාස හයක කාලය පුරා මෙරට විදේශ සංචිතය අඩු වෙමින් තිබුණත් මේ මොහොතේ ලංකාවට ගෙවුම් ශේෂයට සහනයක් ලෙස ණය ලබාගැනීමේ හදිසි අවශ්‍යතාවයක් මතුව නැතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්කර තිබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ධූත මණ්ඩල ප්‍රධානී ටොඩ් ස්නෙයිඩර් (Todd Schneider) අද කොළඹදී මේ බව පැවසූ අතර හෙතෙම අවධාරණය කළේ විනිමය වෙළඳ පොළ (forex market) කෙරෙහි ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ මැදිහත්වීම් නතර කළ යුතු බවයි.
    ණය වර්ධනය ඉහළ යද්දී ඩොලර් බිලියන 9.2 ක පමණ අගයක තිබුණු මෙරට විදේශ සංචිතය පසුගිය ජනවාරි මාසය වනවිට ඩොලර් බිලියන 7.2 ක් දක්වා පහත වැටුණි.
    ආර්ථික විශ්ලේෂකයින් පවසා තිබෙන්නේ රජයේ අතුරු අයවැය මගින් යෝජනා කළ නව වියදම් හේතුවෙන් ඉදිරියේදී විනිමය අනුපාතයට පීඩනයක් එල්ලවීමේ අවධානමක් තිබෙන බවයි.

    මේ අතර, ටොඩ් ස්නෙයිඩර් මහතා (Todd Schneider) පෙන්වා දුන්නේ අතුරු අයවැය මගින් අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයට ප්‍රතිශතයක් ලෙස සියයට 4.4 කට අඩුකිරීම අභියෝගාත්මක ඉලක්කයක් බවත් රජය සැලසුම්කළ ආදායම් නොලැබෙන්නේ නම් අමතර ආදායම් ලබාගැනීම කෙරෙහි අවධානය යොමුකළ යුතුව තිබෙන බවයි.