නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් සංවර්ධනයට ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවයි

    October, 20, 2020

    දැනට අනුගමනය කරනු ලබන ක්‍රමවේදය අනුව නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩම් සංවර්ධනය කිරීම සඳහා සුදුසු ආයෝජකයින් තෝරා ගැනීමේදී ගත වන කාලය සැලකිල්ලට ගෙන පහත සඳහන් ක්‍රමවේදය අනුගමනය කිරීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    • නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම්, යෝජිත සංවර්ධන සැලසුම්වලට අනුකූලව පුද්ගලික අංශයේ පූර්ණ සහභාගිත්වයෙන් මෙන් ම රාජ්‍ය හා පුද්ගලික අංශයේ හවුල්කාරිත්වයෙන් සංවර්ධන කටයුතු සඳහා රාජ්‍ය ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට අනුව බැහැර කිරීම පිණිස සංවර්ධන යෝජනා කැඳවීමේ බලය නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරීම.
    • රජයේ හා පුද්ගලික අංශයේ හවුල්කාරිත්වයෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ව්‍යාපෘතීන් සඳහා හඳුනාගෙන ඇති නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් සංව‍ර්ධනය කිරීම සඳහා තරඟකාරී ලංසු කැඳවීම මඟින් උනන්දුවක් දක්වන ආයෝජකයින් වෙතින් යෝජනා කැඳවීම.
    • එකී යෝජනා ඇගයීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවක් සහ එක් එක් ව්‍යාපෘතියේ ස්වභාවය අනුව ව්‍යාපෘති කමිටු පත් කිරීම.
    • ඉඩම්වල වටිනාකම තීරණය කිරීමේදී රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ තක්සේරු වටිනාකම පදනම් කර ගැනීම.
    • අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පදනම් කරගෙන අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යටත්ව, අදාළ ඉඩම් කොටස් තෝරාගනු ලබන ආයෝජකයින් වෙත බදු පදනම මත ලබා දීම.