නිව් හොලන්ඩ් ට‍්‍රැක්ටර් සඳහා සුවිශේෂී ලීසිං දීමනා පිරිනැමීමට HNB, ඇසෝසියේටඩ් මෝටර්වේස් සමඟ අත්වැල් බැඳගනී

    May, 13, 2022

    නිව් හොලන්ඩ් ට‍්‍රැක්ටර් රථ මිල දී ගැනීමේ දී ගොවීන්ට අඩුම මාසික ලීසිං වාරික සහ අනිකුත් ප‍්‍රතිලාභ ලබාදීම සඳහා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ඇසෝසියේටඩ් මෝටර්වේස් (ප‍්‍රයිවට්) ලිමිටඞ් (AMW) සමාගම සමඟ පසුගියදා අවබෝධතා ගිවිසුමක් (MOU) අත්සන් කළේය.

    සුවිශේෂී හවුල්කාරිත්වය මගින් පාරිභෝගිකයින්ට AMW සහ HNB වෙතින් පුළුල් පරාසයක විශේෂ වට්ටම් සහිත දීමනා සහ ප‍්‍රතිලාභ ලබා ගැනීමට හැකියාව ලබා දෙයි. HNB පුද්ගලික මූල්‍ය සේවා ප‍්‍රධානී, කාංචන කරුණාගම සහ AMW කළමනාකාර අධ්‍යක්ෂ, පීටර් මැකෙන්සි යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් HNB ප‍්‍රධාන කාර්යාලයේදී පැවති විශේෂ උත්සවයකදී මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීය.

    මේ පිළිබඳව අදහස් දක්වමින් HNB පුද්ගලික මූල්‍ය සේවා ප‍්‍රධානී කාංචන කරුණාගම මහතා පැවසුවේ ‘’මෙවැනි අවිනිශ්චිත හා ආර්ථිකමය වශයෙන් පසුබෑමක් ඇති කාලවලදී කෘෂිකාර්මික අංශයට කෙබඳු සහායක් අවශ්‍ය දැයි අපට වැටහුනා. කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ සහ ආර්ථික සංවර්ධනය සඳහා අඛණ්ඩව සහයෝගය ලබා දෙන බවට HNB සහ AMW හි මෙම හවුල්කාරීත්වය සහතිකයක්.” යනුවෙනි.

    මෙම හවුල්කාරීත්වය මගින් HNB ගනුදෙනුකාරභවතුන්ට HNB General Insurance විසින් වාහන රක්ෂණ වාරික සඳහා ආකර්ෂණීය වට්ටම් සහ අවම පොලී අනුපාත පිරිනමයි. මීට අමතරව HNB විසින් හදිසි මරණවලදී නොමිලේ රු. මිලියන 4.5ක ජීවිත රක්ෂණාවරණයක් සහ HNB Assurance විසින් වාහනයේ ලියාපදිංචි හිමිකරුට ස්වභාවික මරණයක් සඳහා රු.600,000 ක රක්ෂණාවරණයක් ලබා දෙනු ඇත. එමෙන්ම විශේෂ වට්ටම් ලබා ගත හැකි HNB Prestige Prime ක්‍රෙඩිට් කාඞ්පතක් ද පාරිභෝගිකයින්ට ලබා දෙනු ඇත. මෙම ණයපත පළමු වසරේ වාර්ෂික ගාස්තුවෙන් නිදහස් කර ඇත.

    ”දේශීය රථ වාහන ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා ලෙස AMW, HNB සමඟ ඇති කරගත් මෙම හවුල්කාරීත්වය පිළිබඳව ඉතා සතුටට පත්වෙනවා. මෙම සහයෝගිතාවය කෘෂිකාර්මික අංශයේ බොහෝ දෙනෙකුට සහනයක් ගෙන දෙන්නක් බව අපට විශ්වාසයි. අපගේ ව්‍යාපාරික උපාය මාර්ගය මීළඟ අදියර වෙත රැගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් AMW කළමනාකාර අධ්‍යක්ෂ පීටර් මැකෙන්සි මහතා පැවසුවේය.

    දේශීය රථ වාහන ක්ෂේත‍්‍රයේ දැවැන්තයා වන AMW විසින් HNB හි ලීසිං පහසුකම යටතේ නිව් හොලන්ඞ් ට‍්‍රැක්ටර් මිලදී ගන්නා පාරිභෝගිකයින්ට නොමිලේ වාහන ලියාපදිංචි කිරීමේ පහසුකම් සලසයි. පාරිභෝගිකයාගේ නිවෙස් වෙතටම ගොස් සිදු කරනු ලබන අළුත්වැඩියා කිරීම්වල සිට කම්කරු ගාස්තුවලින් තොර සේවා ආදී විවිධ ප‍්‍රතිලාභ මේ අතර වේ.

    මේ පිළිබඳ වැඩිදුර විස්තර දිවයින පුරා පිහිටි HNB සහ AMW ප‍්‍රදර්ශනාගාරවලින් ලබා ගත හැක.

    HNB පුද්ගලික මූල්‍ය සේවා ප‍්‍රධානී, කාංචන කරුණාගම (දකුණේ සිට පස්වැන්නා) සහ AMW සමූහ කළමනාකාර අධ්‍යක්ෂ පීටර් මැකෙන්සි යන මහත්වරුන් (දකුණේ සිට හතරවැනියා) අවබෝධතා ගිවිසුම හුවමාරු කර ගනිමින්. මෙම අවස්ථාවට පැමිණි HNB සහ AMW සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද ඡුායාරූපයේ වෙයි.