නිෂ්පාදනවල හා නිෂ්පාදන ක‍්‍රියාවලියේ සෞඛ්‍යාරක්ෂිත බව හා උසස් තත්ත්වය සියැසින් දැකගැනීමට අවස්ථාව දෙන ‘ඇන්කර් නිව්ඬේල් කිරි චාරිකාව’

    June, 24, 2019

    නිෂ්පාදන ක‍්‍රියාවලිය දැකගැනීමට ජනතාවට ලැබුණු දුර්ලභ අවස්ථාවක්

    ලොව පුරා සෞඛ්‍යය හා යහපැවැත්ම තහවුරු කිරීමේදී ආහාරවල සුරක්ෂිතතාව යන සාධකය අතිශයින් වැදගත් වේ. මෙහි අගය තවදුරටත් ඉස්මතු කිරීම සඳහා, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් ප‍්‍රකාශයට පත්කරන ලද ප‍්‍රථම ‘ලෝක ආහාර සුරක්ෂිතතා දිනය’ සැමරීම 2019 ජූනි 07 දින සිදු කෙරුණු අතර එහි තේමාව වූයේ 'Food Safety, Everyone's Business' යන්නයි.

    ලෝක ආහාර සුරක්ෂිතතා ප‍්‍රමිතීන්ට අනුගත වීම, ආහාර සුරක්ෂිතතා කළමනාකරණ ක‍්‍රමවේද ශක්තිමත් කිරීම සහ සෞඛ්‍යයට හිතකර ආහාරපාන සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම යනාදී ක‍්‍රම ඔස්සේ සමාජය තුළ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා රජයන්, ජාත්‍යන්තර ආයතන, විද්‍යාඥයන්, පෞද්ගලික අංශය සහ සිවිල් සංවිධානය යනාදී විවිධ පාර්ශ්ව වලට මැදිහත් වීම් සිදුකළ හැකි වේ.
    ජනතාවට ඇන්කර් නිව්ඬේල් නිෂ්පාදනවල හා නිෂ්පාදන ක‍්‍රියාවලියේ සෞඛ්‍යාරක්ෂිත බව හා උසස් තත්ත්වය දැකගැනීමට අවස්ථාව ලබාදීම සඳහා නැවත වරක් ‘ඇන්කර් කිරි චාරිකා’ වැඩසටහන ආරම්භ කිරීමට ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශ‍්‍රී ලංකා සමාගම පියවර ගෙන ඇත.
    ඇන්කර් නිව්ඬේල් කිරි චාරිකාවට එක්වූ, නුගේගොඩ සිට පැමිණි කිවිඳු චාමික තම අත්දැකීම විස්තර කර තිබුණේ මෙසේ ය.

    ‘‘දරුවන්ට හොඳම දේ විතරක් දෙන පියෙකු විදිහට මගේ දරුවන්ට මේ සමාගම දැකබලාගන්නට අවස්ථාව දීම වැදගත් කියා මට සිතුණා. මම ඇන්කර් නිව්ඬේල් කිරි චාරිකාවට එකතු වුණේ ඒ නිසයි. කර්මාන්තශාලාවට ඇතුළු වුණු ගමන්ම, හැම දේම ඉතාමත් විධිමත්ව සහ පිරිසිදුවට පවත්වාගෙන යන ආකාරය දුටු විට මට හරිම පුදුම හිතුණා. ඒ වගේම ඇන්කර් නිව්ඬේල් යෝගට් සහ රස කළ කිරි නිෂ්පාදනය කරන ක‍්‍රමවේදය මාව පුදුමයට පත්කළා. මම හිතනවා මේ ක‍්‍රමය නිසා නිෂ්පාදන වල උසස් තත්ත්වය ආරක්ෂා වෙනවා කියා. ඉදිරියටත් රටේ ජනතාවට වැඩි වැඩියෙන් මේ දේවල් දැකබලාගන්නට ෆොන්ටෙරා සමාගම දිගින් දිගටම මේ වැඩසටහන පවත්වාගෙන යනවා නම් හොඳයි.”

    මාකොළ පදිංචි රංජිත් වසන්ත කුමාර්, මෙම චාරිකාව මගින් නිෂ්පාදන ක‍්‍රියාවලිය පිළිබඳව තොරතුරු රාශියක් දැනගැනීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශ‍්‍රී ලංකා සමාගමට සිය ස්තූතිය පළකළේ ය.

    ‘‘ගොවිපළේ සිට පාරිභෝගික අප අතට පත්වන තුරුම සෞඛ්‍යාරක්ෂිත හා නිසි කළමනාකරණයකින් යුතු නිෂ්පාදන ක‍්‍රියාවලියක් යටතේ ගුණාත්මක, සුරක්ෂිත නිෂ්පාදන අප හට ලබාදීමට සමාගම කටයුතු කරන බවට අපගේ දෑසින්ම දැකගැනීමට හැකියාව ලැබුණා.” ඔහු පැවසී ය.

    ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශ‍්‍රී ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුනිල් සේති මහතා, රටවල් 140 කට අධික සංඛ්‍යාවකදී ෆොන්ටෙරා සමාගම් විසින් තම නිෂ්පාදන ක‍්‍රියාවලියේ ආරම්භයේ සිට අවසානය දක්වාම උසස් තත්ත්වය හා සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීමට කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වී ය.

    ‘‘ලොව සෑම රටකදීම අප, පාරිභෝගිකයන්ට උසස්ම තත්ත්වයේ නිෂ්පාදන සැපයීම සඳහා ඉතාමත් විධිමත් ක‍්‍රමවේදයන්් ක‍්‍රියාවට නංවනවා. ආහාර වල සෞඛ්‍යාරක්ෂිත බව හා උසස් තත්ත්වය සම්බන්ධයෙන් අප කිසි විටෙකත් අවදානමක් ගන්නේ නැහැ. ඇන්කර් වැනි ආනයනය කරන ලද නිෂ්පාදන වල සිට, ඇන්කර් නිව්ඬේල් වැනි දේශීය කිරි යොදා නිපදවන නිෂ්පාදන දක්වාම අප නැවුම් බව සහ උසස් ප‍්‍රමිතිය දැඩිව පවත්වාගන්නවා.

    ‘‘කිරි චාරිකාව වැඩසටහන මගින් අප උත්සාහ කරන්නේ පාරිභෝගිකයන් සමග පැහැදිලි සහ විනිවිදභාවයෙන් යුත් සන්නිවේදනයක් පවත්වා ගනිමින්, අපගේ නිෂ්පාදන ක‍්‍රියාවලිය පැහැදිලිව ඔවුන්ට පෙන්වා දීමටයි. නිෂ්පාදන වල ආරම්භයේ සිට අලෙවිය දක්වා සැපයුම් දාමය පුරාවට සෞඛ්‍යාරක්ෂිත බව සහ උසස් තත්ත්වය ආරක්ෂා කිරීම අප සැමදෙනාගේම වගකීමක් බව අප විශ්වාස කරනවා.” සුනිල් සේති මහතා වැඩිදුරටත් පැවසී ය.

    ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශ‍්‍රී ලංකා සමාගම වසර 20 කට අධික කාලයක් තිස්සේ ශ‍්‍රී ලාංකික ගොවීන්ගෙන් කිරි එකතු කිරීම සිදුකරයි. මේ වනවිට දිනකට කිරිගොවීන් වෙතින් කිරි ලීටර් 40,000 ක් පමණ එකතු කිරීම සිදුවන අතර එම කිරි ඇන්කර් නිව්ඬේල් යෝගට් සහ රසකළ කිරි ඇතුළු නිෂ්පාදන රාශියක් නිපදවීම සඳහා යොදාගැනේ.