නීතිවිරෝධී දුම්වැටි හේතුවෙන් වාර්ෂිකව රජයට අහිමි වන ආදායම රු. බිලියන 18 ක්

    January, 8, 2019

    ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ආචාර්යවරුන් තිදෙනෙකු විසින් මෙරට නීතිවිරෝධී දුම්වැටි ජාවාරම සම්බන්ධයෙන් සිදුකරන ලද පර්යේෂණයක වාර්තාව, පසුගිය ජනවාරි 07 වන දින ශ‍්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ සනාතන සභා ශාලාවේදී එළිදක්වන ලදි. ”ශ‍්‍රී ලංකාවේ නීතිවිරෝධී දුම්වැටි ජාවාරම හා එමඟින් අහිමි වන බදු මුදල් පිළිබඳ පදනම් අධ්‍යනය” (A Baseline Study on the Illicit Cigarette Market and the Resulting Tax Implications for Sri Lanka)  ලෙස නම්කර ඇති මෙම වාර්තාව, ආචාර්ය එස්. එන්. මොරායස්, මහාචාර්ය එස්. එස්. කොළඹගේ සහ ආචාර්ය සී. එන්. රත්නායක යන විද්වතුන් විසින් සිදුකරන ලද පර්යේෂණයක් ඇසුරින් පිළියෙල කර ඇත. ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට දීර්ඝ කාලයක් පටන් අහිතකර බලපෑම් එල්ල කරන නීතිවිරෝධී දුම්වැටි ජාවාරම සම්බන්ධයෙන් මෙතෙක් හෙළි නොවූ තොරතුරු රාශියක් මෙමගින් අනාවරණය කර තිබේ.

    තාක්ෂණයේ දියුණුව, සන්නිවේදන ජාල පුළුල් වීම සහ ගෝලීයකරණය වැනි සාධක, ලොව පුරා නීතිවිරෝධී ජාවාරම් වලට රුකුලක් වී ඇති බව මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇත. මේ අතරින් වේගයෙන් වර්ධනය වන නීතිවිරෝධී දුම්වැටි ජාවාරම පාලනය කිරීම සඳහා කඩිනමින් පියවර නොගතහොත් එය බරපතළ ප‍්‍රතිවිපාක ඇතිකරනු නිසැක ය. ශ‍්‍රී ලංකාව තුළට මෙලෙස නීතිවිරෝධී දුම්වැටි පැමිණීම පාලනය කිරීම සඳහා බලධාරීන් කොතෙකුත් පියවර ගත්තද, එ් පිළිබඳව පර්යේෂණ පදනම් කරගත් නිවැරදි තොරතුරු මෙතෙක් නොපැවතීම හේතුවෙන් එම උත්සාහයන්ට පිටුබලය සැපයෙන ආකාරයට නීතිරීති සම්පාදනය කිරීම සඳහා ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට අවස්ථාව නොලැබිණි. මෙම අඩුපාඩුව හඳුනාගනිමින්, මෙම විද්වතුන් මෙරට නීතිවිරෝධී දුම්වැටි ජාවාරම මැඩලීම සඳහා අවශ්‍ය තොරතුරු සම්පාදනය කිරීමේ අරමුණ ඇතිව මෙම පර්යේෂණය සිදුකර තිබේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුවෙහි [WHO Framework Convention on Tobacco Control (FCTC)]  1 වන උප කොටසෙහි ‘නීතිවිරෝධී දුම්වැටි ජාවාරම’ යන්න අර්ථ දක්වා ඇත්තේ ‘නීතිවිරෝධී දුම්වැටි නිපදවීම, නැව්ගත කිරීම, ලබාගැනීම, ළඟ තබාගැනීම, බෙදාහැරීම, විකිණීම හෝ මිලදීගැනීම සහ මෙම ක‍්‍රියාකාරකම් වලට සහය වීම අරමුණු කරගත්  ඕනෑම පරිචයක් හෝ ක‍්‍රියාවක් වශයෙනි. මෙම රහසිගත හා විනාශකාරී කර්මාන්තය පිළිබඳව සැඟවී පැවතුණු තොරතුරු අනාවරණය කරගැනීමේ අරමුණින් ක‍්‍රියාවට නංවන ලද මෙම පර්යේෂණය, මෙරට නීතිවිරෝධී දුම්වැටි ජාවාරමේ ව්‍යාප්තිය හඳුනාගනිමින් එමගින් රජයට අහිමිවන බදු ආදායම ඇස්තමේන්තුගත කරයි.

    ක්ෂේත‍්‍ර සමීක්ෂණ මගින් එක්රැුස් කරගත් භෞතික සාක්ෂි වලට අමතරව සම්මුඛ සාකච්ඡුා සහ පාරිභෝගික සමීක්ෂණ භාවිතා කරමින් මෙම ස්වාධීන අධ්‍යයනය සිදුකර තිබේ. මෙහි සොයාගැනීම් අනුව, 2017 වසරේදී නීතිවිරෝධී දුම්වැටි මිලියන 583 ක් පමණ ශ‍්‍රී ලංකාවට ඇතුළු වී ඇත. මෙය ශ‍්‍රී ලංකාවේ සමස්ත දුම්කොළ නිෂ්පාදන වෙළඳපොළෙන් 15.57% කි. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස, 2017 වසර තුළදී පමණක් ශ‍්‍රී ලංකා රජයට රු. බිලියන 17.98 ක් තරම් දැවැන්ත බදු ආදායමක් අහිමි වී ඇති බව මෙම අධ්‍යයන වාර්තාව පෙන්වා දෙයි. නීතිය ක‍්‍රියාත්මක කිරීමේ අංශ වල යටිතල පහසුකම් සහ මානව සම්පත් ප‍්‍රමාණවත් නොවීම, ජාවාරම් මගින් අධික ලෙස ලාභ ලැබිය හැකි වීම සහ ඒවා සඳහා අයකෙරෙන දඩ මුදල් ආදිය අවම මට්ටමක පැවතීම නිසා ජාවාරම්කරුවන් දිගින් දිගටම නීතිවිරෝධී කටයුතු වල යෙදීමෙට පෙළඹෙන බව මෙහි වැඩිදුරටත් පෙන්වා දී ඇත. රටට සිදුවන අධික පාඩුවට අමතරව, වේගයෙන් වර්ධනය වන නීතිවිරෝධී දුම්වැටි වෙළඳපොළ නිසා රජයේ දුම්කොළ පාලන ප‍්‍රතිපත්ති වලටද ඍණාත්මක බලපෑම් එල්ලවන  බව මෙම වාර්තාව අවධාරණය කරයි.

    මෙම අධ්‍යයනය මගින් තවදුරටත් පෙන්වා දෙන කරුණක් නම්, නීත්‍යානුකූලව නිපදවන දුම්වැටි මත පනවා ඇති බදු ඉහළ නැංවීම මගින් දුම්පානය අඩු වන බවට බොහො දෙනා අතර පවතින අදහස සත්‍යයෙන් තොර එකක් වීමට ඉඩ ඇති බව ය. නීත්‍යානුකූල දුම්වැටි අලෙවිය පහළ යාම යනු සමස්ත දුම්පානයේ අඩුවීමක් ලෙස වටහාගැනීම වරදකි. ඊට හේතුව, දුම්පානය කරන්නන් මිලෙන් අඩු විකල්ප සහ නීතිවිරෝධී දුම්වැටි වෙත යොමුවීමට ඉඩකඩ පැවතීමයි. නීත්‍යානුකූල දුම්කොළ නිෂ්පාදන මත පනවා ඇති බදු ඉහළ නැංවීමෙන් අනතුරුව, සංවිධානාත්මක අපරාධ කල්ලි වල සහයෝගය ඇතිව, නීතිවිරෝධී දුම්වැටි ජාවාරම බෙහෙවින් වර්ධනය වන බවට ලොව පුරාම සාක්ෂි ඇත.

    ඉහළ බදු අනුපාතයන් නිසා ජාවාරම්කරුවන්ට ලැබෙන අධික වාසි,  නීතියේ පවතින හිඩැස් සහ පහසුවෙන් ප‍්‍රවාහනය කළ හැකි වීම වැනි සාධක අනුව සලකා බලන විට, නීතිවිරෝධී දුම්වැටි ජාවාරම මැඩලීම සඳහා නීතිරීති සකස් කිරීමත්, එම නීතිරීති ක‍්‍රියාත්මක කරන ආයතන ශක්තිමත් කිරීමත් අවශ්‍ය වේ. ඒ අනුව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ FCTC රාමුවට සමගාමීව, මෙම පර්යේෂණ වාර්තාව මගින් පහත සඳහන් නිර්දේශ ඇතුළුව නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇත.

    x              නීතිවිරෝධී දුම්වැටි කර්මාන්තය සම්බන්ධයෙන් දැනටමත් පවතින අපරාධ නීති ක‍්‍රියාත්මක කිරීම

    x              නීතිවිරෝධී දුම්කොළ නිෂ්පාදන මෙරටට රැගෙන ඒම සහ අලෙවි කිරීම වැළැක්වීම සඳහා, දැඩි දඬුවම් පැමිණවිය හැකි වන ආකාරයට නීතිරීති ශක්තිමත් කිරීම

    x              බීඩි වැනි විකල්ප නිෂ්පාදනද ආවරණය වන ආකාරයට දුම්කොළ බදු වල ආවරණ පරාසය පුළුල් කිරීම

    x              එක්ස් කිරණ ස්කෑනර් යන්ත‍්‍ර, එන්ඩස්කෝප්, රාත‍්‍රී දර්ශන උපාංග සහ දියුණු කැමරා වැනි, නීතිවිරෝධී භාණ්ඩ හඳුනාගැනීමට උපකාරී වන අතිනවීන උපාංග ලබාදෙමින් රේගුවේ යටිතල පහසුකම් දියුණු කිරීම

    x              නීතිවිරෝධී දුම්වැටි මෙරටට රැුගෙන ඒම සහ අලෙවි කිරීම පාලනය කළ හැකි වන ආකාරයට ශ‍්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ පොලීසිය යනාදී නීතිය ක‍්‍රියාත්මක කරන ස්ථාන වල සේවය කරන නිලධාරීන්ට දැනුම හා පුහුණුව ලබාදීම