නුවරඑළිය සමර් සීසන් විවෘත බැඩ්මින්ටන් තරගාවලියේදී ලෝචන සහ රනිත්මා ද්විත්ව ශූරතා දිනති

    May, 2, 2023

    ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අධීක්ෂණය යටතේ මධ්‍යම පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් නුවරඑළිය වසන්ත සමයට සමගාමීව සංවිධාන කළ ‘සමර් සීසන්‘ විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ පිරිමි විවෘත ශූරතාව දිනා ගැනීමට ලෝචන ද සිල්වා සමත් වූ අතර,  රනිත්මා ලියනගේ කාන්තා විවෘත ශූරතාව දිනා ගැනීමට සමත් වූවාය.

    නුවරඑළිය නගරසභා ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේදී දින 9ක් පුරා පැවැති මේ තරගාවලියේ පිරිමි විවෘත අවසන් මහා තරගයේදී  ලකුණු 18-21ක්, 21-13ක් සහ 21-17ක් ලෙස ලෝචන හමුවේ පරාජයට පත් වූ සවිනක වීරසේකරට අනුශුරතාව හිමිවිය. කාන්තා විවෘත අවසන් මහා තරගයේදී රනිත්මා ලියනගේ හමුවේ ලකුණු 21-10ක් සහ 21-11කින් පරාජයට පත් වූ ප්‍රවීණා විජේසුන්දරට අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදු විය.

    ක්‍රීඩක ක්‍රීඩිකාවන් 960 දෙනකු සහභාගි වූ ‘සමර් සීසන්‘ විවෘත බැඩිමින්ටන් ශූරතාවලියේ විවෘත පිරිමි යුගල ශූරතාව දිනා ගනු ලැබුවේ ලෝචන ද සිල්වා සහ සියත් සේනාරත්න ලකුණු 22-20ක්, 14-21ක් සහ 24-22ක් ලෙස පරාජයට පත් කළ ඔෂාමික කරුණාරත්න සහ තුලිත් පල්ලියගුරුගේ විසිනි. හසිනි අම්බලන්ගොඩගේ සහ හසාරා විජයරත්න ලකුණු 21-12ක් සහ 21-11ක් ලෙස පරාජයට පත් කළ රනිත්මා ලියනගේ සහ කාවින්දි සිරිමාන්නගේ එහි කාන්තා යුගල ශූරතාව දිනාගත්හ. විවෘත තරග ඉසව්වේ මිශ්‍ර යුගල ශූරතාව දිනා ගැනීමට ලෝචන ද සිල්වා සහ නදීෂා ගයාත්‍රි සමත් වූයේ අවසන් මහා  තරගයේදී ලකුණු 21-15ක් සහ 21-15ක් ලෙස ලසිත මේනක සහ රේණු චන්ද්‍රිකා ද සිල්වා පරාජයට පත් කරමිනි.

    කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ සහ විවෘත කාණ්ඩ යටතේ ඒකල, යුගල හා මිශ්‍ර යුගල තරග පැවැති සමර් සීසන් විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ අවසන් දිනයේ තරග ඉසව් සහ ත්‍යාග ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා මහතා, නුවරඑළිය හිටපු නගරාධිපතිවරයා සහ මධ්‍යම පළාත් බැඩිමින්ටන් සංගමයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

    තරග ප්‍රතිඵල

    විවෘත පිරිමි ඒකල

    ශූරතාව - ලෝචන ද සිල්වා, අනුශූරතාව - සවිනක වීරසේකර

    විවෘත කාන්තා ඒකල

    ශූරතාව - රනිත්මා ලියනගේ, අනුශුරතාව - ප්‍රවීණා විජේසුන්දර

    විවෘත පිරිමි යුගල

    ශූරතාව - ඔෂාමික කරුණාරත්න/තුලිත් පල්ලියගුරුගේ

    අනුශූරතාව - ලෝචන ද සිල්වා/සියත් සේනාරත්න

    විවෘත කාන්තා යුගල

    ශුරතාව - රනිත්මා ලියනගේ/කාවින්දි සිරිමාන්නගේ

    අනුශුරතාව - හසිනි අම්බලන්ගොඩගේ/හසාරා විජයරත්න

    විවෘත මිශ්‍ර යුගල

    ශූරතාව - ලෝචන ද සිල්වා/ නදීෂා ගයාත්‍රි/

    අනුශුරතාව - ලසිත මේනක/රේණු චන්ද්‍රිකා ද සිල්වා