December, 6, 2024
තේමාව පදනම් කරගත් නෙස්ලේ සමාගමේ පොල් සංවර්ධන සැලසුමෙහි තවත් සුවිශේෂි පියවරක් සනිටුහන් කරමින් ශ්‍රි ලංකා පොල් වගා කිරීමේ මණ්ඩලය සමඟ එක්ව පොල් ගොවීන් සඳහා දෙදින පුහුණු වැඩසටහනක් පැවැත්වීමට පසුගියදා කටයුතු කරනු ලැබීය. ලුණුවිල පොල් වගා කිරීමේ මණ්ඩල පුහුණු මධ්‍යස්ථානයේදී පවත්වන ලද එම වැඩසටහන තුළින් පස හා ජලය වැනි ස්වභාවික සම්පත් රැකගනිමින් පොල් අස්වැන්න ඉහළ නැංවීම සඳහා ගොවිපලවල පුනර්ජනනීය කෘෂිකාර්මික ක්‍රම ක්‍රියාත්මක කිරීම පිළිබඳව ගොවීන් දැනුවත් කිරීමටත් ඒ හරහා ඔවුන්ට ප්රතිලාභ ලබා දීමටත් අවධානය යොමු කරන ලදී.
මෙම වැඩසටහන පිළිබඳව අදහස් දැක්වූ පොල් වගා කිරීමේ මණ්ඩලයේ ව්‍යාප්ති හා සංවර්ධන නියෝජ්‍ය සමාන්‍යාධිකාරී ජයලත් මහතා සඳහන් කර සිටියේ "මෙරට පොල් ගොවීන්ගේ ආර්ථිකය හා ජීවනෝපාය නඟා සිටුවීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙමින් නෙස්ලේ පොල් සංවර්ධන සැලසුම තව දුරටත් ඉදිරියට ගෙන යාමට කටයුතු කිරීම පිළිබඳව ඉතාමත් සතුටුයි. ඒ පිළිබඳව මගේ ස්තූතිය නෙස්ලේ සමාගමට පිරිනැමීමට මෙය අවස්ථාවක් කොට ගන්නවා. පොල් ගොවීන්ගේ වගා කටයුතුවලදී පුනර්ජනනීය කෘෂිකාර්මික පිළිවෙත් ක්‍රියාත්මක කිරීම තුළින් පරිසරය ආරක්ෂා කර ගනිමින් මනා පරිසර පද්ධතියක් පවත්වාගෙන යාමට හැකියාව උදා වනවා. ගොවීන්ගේ දැනුම හුවමාරු කර ගැනීම සඳහා කදිම අවස්ථාවක් වන මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ පොල් ගොවීන්ගේ වගා ශිල්පීය ක්‍රම ඉහළ නැංවීමට, අභියෝගවලට මුහුණ දීමට මෙන්ම තිරසාර පොල් වගාවක් සඳහා නව ක්‍රමවේද පිළිබඳව සොයා බැලීමට ද අවස්ථාව උදා වනවා" යනුවෙනි.
මෙහිදී අදහස් දැක්වූ නෙස්ලේ ලංකාහි කළමණාකාර අධ්යක්ෂ බර්නාඩ් ස්ටෙෆාන් මහතා "ශ්‍රී ලංකාවේ පොල් වගාව ඉහළ නැංවීම සඳහා අපගේ නොසැලෙන කැපවීම මෙම දිගුකාලීන පොල් සංවර්ධන වැඩසටහන තුළින් මනාව පිළිබිඹු වනවා. මෙරට විශාලතම පොල්කිරි අපනයනකරුවා ලෙස අපගේ මෙහෙයුම් සඳහා අවශ්‍ය පොල් සැපයීම සඳහා ගොවීන්ට සහයෝගය ලබාදීම වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට හැකිවීම පිළිබඳව ඉතාමත් සතුටට පත් වනවා. එමෙන්ම 2050 වන විට පරිසර හානියකින් තොර පොල් වගාවක් ඇති කිරීමේ අපගේ ප්රයත්නයෙහි තවත් සුවිශේෂි පියවරක් ලෙස මෙම පොල් අගය දාමයේ පුනර්ජනනීය කෘෂිකාර්මික පිළිවෙත් ක්‍රියාත්මක කිරීම සඳහන් කළ හැකිය. පොල් වගා කිරීමේ මණ්ඩලය සමඟ එක්ව ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන පොල් වගාවට පමණක් නොව පරිසරයටද වඩාත් හිතකර හොඳම ක්‍රියාමාර්ග (best practices) ක්‍රියාත්මක කිරීම තුළින් මෙම වටිනා බෝගය උපරිම ප්රෝයෝජනයට ගැනීම සඳහා වන වැදගත් පියවරක් ද වනවා" යනුවෙන් පැවසීය.
වසර 115 කට වැඩි කාලයක් තිස්සේ මෙරට මෙහෙයුම් සිදු කරන නෙස්ලේ ලංකා සමාගම දේශීය පොල් කර්මාන්තය සඳහා බිලියන ගණනක දායකත්වයක් ලබා දීමට සමත්ව සිටියි. පොල් සංවර්ධන සැලසුම හරහා ප්රතිලාභ ලබන ගෘහස්ත වගාකරුවන්ට අමතරව මධ්‍යම හා මහා පරිමාණ පොල් ගොවීන් 8,000 කට වැඩි පිරිසකගේ ජීවනෝපාය සඳහා ප්‍රසම්පාදන මඟින් සහයෝගය ලබා දීමටද නෙස්ලේ ලංකා සමාගම කටයුතු කරයි.
Video Story