• Ada Derana BIZ Sinhala
  • leased
  • Lotus Tower
  • sri lanaka

නෙළුම් කුළුණ බදු දෙනු ලැබේ

June, 15, 2022

කොළඹ නෙළුම් කුළුණෙහි ‘පදනම‘ හා ‘ටවර් හවුස්‘ යන ස්ථානයන්ට අයත් කොටස් බදු හෝ කුලී පදනම මත ලබා දීමට තීරණය කර ඇති බව කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ පුද්ගලික සමාගම පවසයි.

මීටර 350 ක උසකින් යුතු කොළඹ අගනුවර මධ්‍යයේ පිහිටා තිබෙන මෙම කුළුණ ප්‍රධාන සංචාරක මධ්‍යස්ථානයක් ලෙස විවෘත වන විට විශාල විදේශීය සහ දේශීය නරඹන්නන් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කරන ආකාරයේ සුවිශේෂී එකක වනු ඇති බවට කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ පුද්ගලික සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව කුළුණෙ හි බිම් මහලෙහි පිහිටි ස්මාරක අලෙවිසැලක්, භෝජනාගාර 3ක් හා ප්‍රදර්ශන ගැලරියක්ද, 1 වන මහලෙහි පිහිටි ඩිජිටල් බැංකුකරණ ඒකක 5ක්, ඉ-ක්‍රීඩා වේදිකාවක්, කෝපි හල් 3 ක්, නවෝත්පාදන මධ්‍යස්ථාන 3ක්, 7D සිනමා හලක් හා ඩිජිටල් කෞතුකාගාරයක් ද, එහි දෙවන මහලෙහි පිහිටි උත්සව ශාලාවක්/ ප්‍රදර්ශන කලාපයක් සහ රැස්වීම් ශාලාවක් ද බදු/ කුලී පදනම මත ලබා දීමට අපේක්ෂිත ඒකකවලට අයත් වේ. මීට අමතරව කුළුණේ පදනමෙහි රූෆ්ටොප් කොටසෙහි පිහිටි භෝජන ශාලා/ අවන්හල් 5 ක් ද බදු/ කුලී දීමට ඇත.

නෙළුම් කුළුණෙහි තෙවන මහලේ සිට සයවන මහල දක්වා මහල් අයත් වන්නේ ‘ටවර් හවුස්‘ කොටසටයි. මෙහිදී තෙවන හා සිව්වන මහල් හි පිහිටි උත්සව ශාලා/ අවන්හල් 1 බැගින් ද, පස්වන මහලෙහි පිහිටි කැරකෙන අවන්හලක් ද බදු/ කුලී දෙන කොටසට අයත් වේ.

එමෙන්ම 06 වන මහලෙහි පිහිටි සුඛෝපභෝගී කාමර 6 ක් බදු/ කුලී දීමට ද සමාගමේ කළමනාකාරීත්වය අපේක්ෂා කරයි.

සම්පූර්ණ රජය සතු සමාගමක් වන කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ පුද්ගලික සමාගම, ඉහත කී හිස් අවකාශයන් බදු දීම හෝ කුලියට දීම සඳහා ඊට උනන්දුවක් දක්වන පුද්ගලයින්ගෙන් හෝ සමාගම්වලින් අභිලාශ ප්‍රකාශ කිරීමට ඇරයුම් කර සිටී.

මෙම අභිලාෂය ප්‍රකාශ කිරීමේ ඉදිරිපත් කිරීම් 2022 ජූනි 30 දින පැය 1500ට අවසන් වන බව කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ පුද්ගලික සමාගම වැඩිදුරටත් පවසයි.