නොමිලේ මෝටර් රථයක් දෙන ෆේස්බුක් පණිවුඩය ඔබත් Share කළාද – මෙන්න ඇත්ත

    May, 24, 2018

    ලොව ප්‍රමුඛ පෙළේ මෝටර් රථ නිෂ්පාදන සමාගමක සංවත්සරය වෙනුවෙන් නොමිලේ ලබා දෙන අධි සුඛෝපභෝගී මෝටර් රථයක් දිනා ගැනීම සඳහා සම්බන්ධ පණිවුඩයක් මේ දිනවල සීඝ්‍රයෙන් ෆේස්බුක් හරහා හුවමාරුවෙමින් පවතී.

    මෙහිදී එම පණිවුඩවල සඳහන් වන්නේ පළමුව අදාළ ෆේස්බුක් පිටුව like කරන ලෙසත්, දිනා ගැනීමට කැමති මෝටර් රථයේ වර්ගය හෝ වර්ණය සඳහන් කර ලෙසත්ය. එසේම එම පණිවුඩය Share කළ යුතු බවට ද, මෝටර් රථය දිනා ගැනීම සඳහා සපුරාලිය යුතු තෙවන පියවර ලෙසින් එහි සඳහන් කර තිබේ.

    කෙසේ වෙතත් මෙම මෙම පණිවුඩවල සත්‍ය අසත්‍යතාව විමසීම සඳහා මෙරට ප්‍රධාන පෙළේ මෝටර් රථ නියෝජිතායතන දෙකක් වන Audi Sri Lanka සහ Toyota Lanka සමාගම්වල නිල ෆේස්බුක් පිටු හරහා විමසීමක් කිරීමට අද දෙරණ Biz පියවර ගනු ලැබීය. මෙහිදී අදාළ සමාගම් ද්විත්වයම වහාම ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ, මෙලෙසින් නොමිලේ මෝටර් රථ ලබාදෙන බවට හුවමාරුවෙමින් තිබෙන පණිවුඩ ව්‍යාජ ඒවා බවයි. එසේම අදාළ පණිවුඩවල සඳහන් වන ආකාරයේ දිනුම් ඇදීමක් හෝ නොමිලේ මෝටර් රථ ලබා දීමක් කිසිදු ලෙසකින් තම ආයතනවලින් දියත් කර නොමැති බවට ද මෙම සමාගම් තහවුරු කරන ලදී. පහත දැක්වෙන්නේ මේ පිළිබඳව අද දෙරණ Biz කළ විමසීමේ දී Audi Sri Lanka සහ Toyota Lanka සමාගම් දැක්වූ ප්‍රතිචාරයයි.

    මෙවැනි ෆේස්බුක් පිටුවලින් මූලික වශයෙන් ඉලක්ක කරනුයේ වැඩි සාමාජික පදනමක් (fan base)ගොඩනගා ගැනීමකි. පසුව එම පිටු හරහා නොයෙකුත් ආකාරයේ වංචනික කටයුතු දියත් කිරීමට ඒවායේ හිමිකරුවන් කටයුතු කරනු ලබයි. එබැවින් මෙවැනි පිටුවලට like කිරීමට හෝ එම පණිවුඩ Share කිරීමෙන් වැළකීමට, ෆේස්බුක් පරිශීලකයින් කල්පනාකාරී විය යුතුය.

    පසුගිය දින කිහිපය තුළ ෆේස්බුක් හරහා හුවමාරු වූ එවැනි වංචාකාරී පණිවුඩ කිහිපයක් පහළින් දැක්වේ.