නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී ආර්ථික අපේක්ෂාව ඉහළට

    March, 12, 2018

    ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2017 නොවැම්බර් මාසය සහ දෙසැම්බර් මාසය

     

    ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2017 නොවැම්බර් සහ දෙසැම්බර් මාස වලදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity- PEO) මගින් ඉදිරිපත් කෙරේ.

     

    රැකියාවේ තත්ත්වය සහ ව්‍යාපාරික දියුණුව -

     

    ආර්ථික අපේක්ෂාව පිළිබඳ 2017 නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල දත්ත විමසා බැලීමේදී පෙනී යන්නේ ඉදිරි මාස 12 සැලකිල්ලට ගත්කළ තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව මෙම මාස දෙක තුළදීම අඛණ්ඩවම වර්ධනය වී තිබෙන බවයි. 2017 ඔක්තෝම්බර් මාසයේදී මෙම අපේක්ෂාව පහළ ගොස් තිබුණි.

     

    නොවැම්බර් මාසයේදී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ සඳහා විදේශීය ආයෝජන ඉහළ ගිය අතර සංචාරක ඉපැයිම්ද වර්ධනය විය. මීට අමතරව, අපනයන අංක දෙකක වර්ධනයක් නොවැම්බර් මාසයේදී පෙන්නුම් කරන ලදී. නොවැම්බර් මාසය අවසන් වනවිට ගෙවුම් තුලනයේ ඇමරිකානු ඩොලර් බිලියන 2.0 ක අතිරික්තයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත්වී තිබෙන අතර දළ නිළ සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 7.3 ක් දක්වා වර්ධනය වී තිබීම කැපී පෙනේ.

     

    මෙම ප්‍රවණතාවය ඉදිරියටම ගමන් කරමින් මෙරට විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය 2017 දෙසැම්බර් මාසයේදී අඛණ්ඩවම වර්ධනය විය. දෙසැම්බර් මාසයේදී සංචාරක ඉපැයීම් සහ විදේශීය ප්‍රේෂණ වර්ධනය වූ අතර කෙටි කාලීන සහ දිගු කාලීන ප්‍රාග්ධන ලැබීම්ද ඉහළ ගියේය. එසේම, දළ නිළ සංචිතය දෙසැම්බර් මාසය අවසන් වනවිට ඩොලර් බිලියන 8.0 ක් දක්වා වර්ධනය වී තිබීම කැපී පෙනේ.

    ඉදිරි මාස 12 සැලකිල්ලට ගත්කළ තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව 2017 නොවැම්බර් සහ දෙසැම්බර් මාස වලදී වර්ධනය වූ ආකාරය පහත ප්‍රස්ථාරය මගින් පැහැදිලි වේ.

     

     

    2017 නොවැම්බර් සහ දෙසැම්බර් මාස වලදී තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීමේ අපේක්ෂාව ඉහළ යාම කෙරෙහි මෙම කාරණා අඩු වැඩි වශයෙන් බලපාන්නට ඇත.

     

    ඉතිරි කිරීමට තිබෙන හැකියාව

     

    ඉදිරි මාස 12 ඇතුළත උපයන මුදලින් යම් කිසි ප්‍රමාණයක් ඉතිරි කිරීමට තිබෙන හැකියාව පිළිබඳව තිබෙන අපේක්ෂාවද 2017 නොවැම්බර් සහ දෙසැම්බර් මාස වලදී වර්ධනය වී ඇත. මෙම අපේක්ෂාව 2017 ඔක්තෝම්බර් මාසයේදී පහළ ගොස් තිබුණි. මෙම මාස දෙකක කාලය තුළදී උද්ධමනය අඩුවීම මේ සඳහා ප්‍රධාන වශයෙන්ම බලපාන්නට ඇත. ඔක්තෝම්බර් මාසයේදී 8.8% ක්වූ උද්ධමනය නොවැම්බර් මාසයේදී 8.4% ක් දක්වා පහත වැටුණු අතර දෙසැම්බර් මාසය වනවිට 7.3% ක් දක්වා තවදුරටත් අඩුවිය.  (02 වන ප්‍රස්ථාරය බලන්න)

     

    දූෂණය අඩුවන බලාපොරොත්තු

     

    2017 ඔක්තෝම්බර් මාසයේදී කැපී පෙනෙන ලෙස වර්ධනය වූ දූෂණය අඩුවන බලාපොරොත්තුව නොවැම්බර් මාසයේදී තවදුරටත් වර්ධනය වූ අතර එය දෙසැම්බර් මාසයේදී පහත වැටුණි.

     

    ආර්ථික අපේක්ෂාව, ආර්ථික නිදහස උදෙසා ශ්‍රී ලංකා පදනම (Foundation for Economic Freedom in Sri Lanka) විසින් සංවර්ධනය කර මැණීම් කටයුතු සිදුකරන අතර දිවයිනම ආවරණය වන පරිදි ක්ෂේත්‍ර සමීක්ෂණ සිදුකරනු ලබන්නේ PepperCube Consultants සමීක්ෂණ ආයතනය විසිනි.