පන්සල්, පල්ලි, කෝවිල්වලට රවීගෙන් නොමිලේ විදුලිය

    July, 18, 2019

    "අපි ජනතා නියෝජිතයෝ ව‍ශයෙන් පත්වෙලා සිටින්නේ ජනතාවට උදව් කරන්න මිසක් අපේ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කරන්න නොවෙයි. අබෞද්ධයෙක් වුවත්, බෞද්ධාගම වෙනුවෙන් කැපවෙලා කටයුතු කරන්න මම බැදිලා ඉන්නවා. අපි කැපවෙලා සිටිනවා බෞද්ධ ධර්මය රට පුරා ප්‍රචලිත කරන්න. අපි මේ පුංචි ලංකාව ආදර්ශමත් රටක් බවට පත්කළ යුතුයි. අද අපේ ජනතාව කෘතීමව තමයි ආගම අදහන්නේ. අද බහුතරයක් රූපවාහිනියෙන් තමයි බෞද්ධ ජීවිත ගත කරන්න හදන්නේ. මේ තත්ත්වය වෙනස් කරලා, ප්‍රායෝගීකව ආගමික ජීවිතයකට එළඹෙන්න පුළුවන්නම්, රටේ සහජීවනය තහවුරු කරගෙන, ජනතාව තුළ තිබෙන අසහනකාරී තත්ත්වයන් නැතිකරන්න පුළුවන්. බෞද්ධ රටක් වුවත්, කතෝලික, හින්දු, මුස්ලිම් යන පිරිස් වලටත් එකට ජීවත් වෙන්න බැරිද" යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, රවී කරුණානායක මහතා පැවසීය.

    අමාත්‍ය කරුණානායක මහතා මේ බව ප්‍රකාශ කළේ, පසුගියදා කතරගම, බෝධිරාජාරාමය විදුලි බිලෙන් නිදහස් කරදීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

    "අද වෙලා තියෙන්නේ රජයේ නිලධාරීන් ගන්න තීන්දු, තීරණ නිසා අපි අසරණ වෙනවා. අපි ඇමතිවරු වශයෙන් යම් දෙයක් කරන්න තීන්දු කළත්, රජයේ නිලධාරීන් ඒ වෙනුවෙන් ගන්නා තීරණ නිසා අදාළ කාර්යයන් ඉටු කිරීමට පමා වෙනවා. ඔවුන් තුල තිබෙන්නේ වෙනම අධිෂ්ඨානයක්. මේ තත්ත්වය වෙනස් කරන එක ලෙහෙසි නැහැ. නමුත් අපි ඒ තත්ත්වයන් නිවැරදි කරගෙන ඉදිරියට යනවා. අපි යම් දෙයක් සම්බන්ධයෙන් ඉලක්කයක් ගත්තොත්, ජනතාව වෙනුවෙන් කුමන බාධක මධ්‍යයේ වුවත් ඒ ඉලක්කය සපුරා ගැනීම සාක්ශාත් කරගන්නවා. ලංකා විදුලිබල මණ්ඩලය විසින් මේ රටේ සියළු ආගමික ස්ථාන වල විදුලිය අවශ්‍යතා වෙනුවෙන් මිලියන 898 ක මුදලක් වැය කරනවා.

    මේ ආකාරයෙන් රටේ ආගමික ස්ථානවල විදුලිය වෙනුවෙන් වන වියදම්, පුනර්ජිනනීය බලශක්තිය තුළින් අවම කිරීමට හෝ නැති කිරීමට අපි කටයුතු කරගෙන යනවා. තවත් මාස 02ක්, 03 ක් වැනි කාලයක් තුලදී අපට ඒ තත්ත්වයට ලගාවිය හැකියි. ඒ වෙද්දි අපිට රජයක් වශයෙන් සියළුම ආගමික ස්ථාන වලට විදුලය නොමියේ ලබාදීමට හැකිවේයැයි බලාපොරොත්තු වෙනවා". යැයි පැවසීය.

    මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් දකුණු පළාත් ප්‍රධාන සංඝනායක, අභිනවාරාමාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, කතරගම ශාසනාරක්ෂක, ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස නාහිමිපාණන් වහන්සේ පවසා සිටියේ, රවී කරුණානායක අමාත්‍යවරයා යථාවාදී තථාකාරී ගුණයෙන් යුත් පාලකයෙක් බවයි. මීට ප්‍රථම නොයෙක් අවස්ථාවල මෙම විහාරස්ථානයේ විදුලිබිල නිදහස් කරදෙන ලෙස නොයෙක් පුද්ගලයන් වෙත ඉල්ලීම් ඉදිරිපත් කළද මෙම කාර්යය ඉටුකර දීමට හැකිවුණේ කරුණානායක මහතාට බවත්, ඔහු නිරන්තරයෙන් බෞද්ධාගම කෙරෙහි දැඩි ඇල්මක් ඇතිව කටයුතු කරන සංඝයාවහන්සේ වෙත උපරිමයෙන් ගරුකටයුතුව ක්‍රියාකරන අමාත්‍යවරයෙක් බවත්, මෙවැනි ශ්‍රේෂ්ඨ නායකයෙක්ට කෘතගුණ සැලකීමක් වශයෙන් සහ අනාතගත පරපුරට දැනගැනීම පිණිස මෙම විදුලිය බිල නිදහස් කරදීම ශිලාලේඛනයක සටහන් කරතැබීමට ක්‍රියාකරන බවත්ය.

    (රවී කරුණානායක අමාත්‍යවරයාගේ නිල ෆේස්බුක් පිටුවෙන් උපුටා ගන්නා ලදී.)