පන්සිය පනස් ජාතක කථා වන්දනාවෙන් SLT සමූහය වෙසක් සිරිය අරුත්ගන්වයි

    April, 29, 2018

    ‘පන්සිය පනස් ජාතක වන්දනාව’ බේස්ලයින් මාර්ගය යොදාගනිමින් පන්සිය පනස් ජාතකයට අයත් කථා වස්තූන් චිත‍්‍ර අනුසාරයෙන් ප‍්‍රදර්ශනය කෙරෙයි.

    “අපේ මනුදම් යහ ගුණදම් මතු පරපුරටත් සන්නිවේදනය කිරීම“ සිය තේමාව කරගත් ජාතික සන්නිවේදනය සැපයුම්කරු හෙවත් ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමූහය විසින්  මෙවර වෙසක් උළෙල නිමිත්තෙන්, පන්සිය පනස් ජාතකය හරහා බෝධිසත්ව චරිතයක ගුණයන් සමාජයට සන්නිවේදනය කිරීමට කටයුතු යොදා තිබේ. මෙම ධර්ම දානය සිදුකෙරෙනුයේ SLT, Mobitel සහ PEO TV ඒකාබද්ධ ඉදිරිපත්කිරීමක් ලෙසිනි. මෙවර ටෙලිකොම් හී සමස්ත වෙසක් සංග‍්‍රහයන් ‘අරුත් පිරි වෙසක් සිරි’ යන තේමාවෙන් ක‍්‍රියාත්මක වන අතර පන්සිය පනස් ජාතක කථා ප‍්‍රදර්ශනය, වචනාර්ථයෙන්ම, වෙසක්සිරිය අර්ථවත් කිරීමක් වේ.

    ‘පන්සිය පනස් ජාතක වන්දනාව’ නම් වූ මෙම වෙසක් සමරුවට අනුව කොළඹ කිරුළපන සිට පෑලියගොඩ දක්වා විහිදෙන බේස්ලයින් මාර්ගය යොදාගනිමින් පන්සිය පනස් ජාතකයට අයත් සියළුම කථා වස්තූන් චිත‍්‍ර අනුසාරයෙන් ප‍්‍රදර්ශනය කෙරෙයි. එහිදී, එහි එක් ජාතක කථාවකට එක බැගින් සිතුවමක් සහ අදාළ ජාතක කථාවෙන් කියැවෙන ගුණය දක්වන ලද වැකියකින් යුත් පුවරු එම මාර්ගය මධ්‍යයේ ඇති විදුලි කණු මත ප‍්‍රදර්ශනය කෙරෙයි. අතිශයින් වර්ණවත් මනරම් සිතුවම් ඇසුරින් අගනා පණිවුඩයක් සමාජගත කිරීම පිණිස SLT විසින් ගනු ලබන මෙම උත්සහයේදී පන්සිය පනස් ජාතකයට අයත් කථා වස්තූන් සියල්ල ප‍්‍රදර්ශනය කිරීම සුවිශේෂී වෙයි. ඒ අනුව කිරුළපන සිට පෑලියගොඩ අතර අදාළ මාර්ගයේ ගමන්කොට පැමිණෙන අතරතුර සමස්ත පන්සිය පනස් ජාතකයම දැක ගැනීමේ හැකියාව SLT විසින් සලසා තිබේ.

    මෙම ‘පන්සිය පනස් ජාතක කථා වන්දනාව’ අපේ‍්‍රල් 25 වැනිදා ඇරඹෙන අතර එය මැයි මස 05 වැනිදා දක්වා ප‍්‍රදර්ශනය වනු ඇත.

    මෙයට සමාගමීව, බේස්ලයින් මාර්ගය අතර හමුවෙන බෞද්ධාලෝක මාවත ඇරඹෙන බොරැල්ල දෙසින් ඇති වටරවුමද වෙසක් සැරසිල්ලෙන් අලංකාර කිරීමට SLT ය පියවර ගෙන තිබේ.

    වෙසක් තොරණක් තුළින් සාමාන්‍යයෙන් ප‍්‍රදර්ශනය වන්නේ එක් ජාතක කථා වස්තුවක් පමණක් නමුත් සමස්ත පන්සිය පනස් ජාතකයම නිරූපනය වන අවස්ථා ඉතා දුලබ වේ. ඒ අනුව ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමූහය විසින් ඉදිරිපත් කරනු ලබන මෙම ‘පන්සිය පනස් ජාතක කථා වන්දනාව’ මෙරට වැඩිම පිරිසක් යොදාගනු ලබන මාර්ගයක් වන බේස්ලයින් මාර්ගයේ ඇරඹුමේ සිට අවසානය දක්වා එකම තොරණක් බවට පත්කරනු ඇත.

    යහගුණ පිරි සමාජයක් ගොඩනැගීම පිණිස ඇපකැපවී ක‍්‍රියාකරන SLT ආයතනය සෑම පොහෝ දිනයකම පාහේ දහම් වැඩසටහන් ක‍්‍රියාත්මක කරනු ලබන අතර, වෙසක් ආදී ප‍්‍රධාන පොහොය නිමිති කරගනිමින් එකිනෙකින් වෙනස් වූ ක‍්‍රමවේදයන් ඔස්සේ දහම්ලැදි මෙරට සමාජයට සංග‍්‍රහ කිරීම SLT හී සම්ප‍්‍රදායයි.