පසුගිය මුල්‍ය වසර තුළ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කාර්ය සාධනය සැලකිය යුතු වර්ධනයක් වාර්තා කරයි

    May, 6, 2016

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කාර්ය සාධනය පසුගිය මූල්‍ය වසර හා සැසඳීමේ දී 2016 මාර්තු මස 31 වැනිදා අවසන් වූ මූල්‍ය වසර තුළ විශේෂ වර්ධනයක් (විගණනය නොකළ මූල්‍ය වාර්තා ආශ්‍රයෙනි) වාර්තා කර ඇති බව ගුවන් සමාගම දැනුම් දෙයි. කෙසේ වෙතත් ගුවන් සමාගම තවමත් නොවිසඳූ බාධක මධ්‍යයේ තම මෙහෙයුම් කටයුතු ඉදිරියට සිදුකරනු ලබයි.

    ගුවන් ගමන් ව්‍යාපාරයේ සංකීර්ණත්වය සැළකිල්ලට ගනිමින් පවතින ගැටළු විසඳීම සඳහා කොටස්කරුවන් හා එක්ව ගුවන් සමාගම ඉතා වගකීමෙන් ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලක් දියත් කර ඇත. ඒ අනුව ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාදාමයේ අනපේක්ෂිත ගෙවීම් වලට අමතරව ගුවන් සේවා සමූහයේ පාඩුව රුපියල් බිලියන 8.9 වන අතර එය පසුගිය වසර හා සැසඳීමේ දී 46% ක යහපත් අතට පත්වීමේ වර්ධනයක් පෙන්නුම් කරයි.
    ලෝක ඉන්ධන මිල අධික ලෙස පහත වැටී ඇති අවස්ථාවක ගුවන් සමාගමේ 2015/16 මූල්‍ය වසර තුළ කාර්ය සාධනය සැළකිය යුතු මට්ටමකින් වර්ධනය වී ඇත. එනමුත් මෙම ප්‍රතිලාභය අප වෙතින් අහිමි වී ඇත්තේ 2015/16 වසරේ ආදායම වන රුපියල් බිලියන 115.9 පෙර මූල්‍ය වසරේ (2014/15) ආදායම වන රුපියල් බිලියන 120.4 ට වඩා 4% න් අඩු වී ඇති නිසාය. මෙසේ ආදායම් අඩුවීමට සෘජු ලෙස බලපෑ ඇත්තේ කොළඹ වෙත අනෙකුත් ගුවන් සමාගම් සඳහා ගුවන් ගමන් ධාරීතාව වැඩි කිරීම සහ ගුවන් ගමන් ගාස්තු ඇතැම් වෙළෙදපොලවල් හි සීග්‍ර වශයෙන් පහත වැටීම ය. එසේම පසුගිය වසර හා සැසදීමේ දී මෙම වසර තුළ විනිමය අනුපාතිකය වැඩි වශයෙන් උච්චාවචනය වීම ද ගුවන් සමාගමේ කාර්ය සාධනය සදහා බලපෑ ඇත.

    2016 මාර්තු මස 31 වන විට ජාතික ගුවන් සේවාවේ ණය රුපියල් බිලියන 64.92 වශයෙන් පැවති අතර එය පසුගිය වසරේ ණය වන රුපියල් බිලියන 56.92 හා සැසඳීමේ දී වැඩි වීමකි. 2014 නොවැම්බර් මස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ ජාතික අයවැය ප්‍රකාශයට අනුව ඇමරිකානු ඩොලර් මිලියන 150 ක් මූල්‍ය ප්‍රාග්ධනය ලෙස ශ්‍රීලංකන් ගුවන් සමාගම සහ මිහින් ලංකා ගුවන් සේවය සඳහා ලබාදීමට අනුමත විය. කෙසේ වෙතත් 2015 මාර්තු මස ඉදිරිපත් කළ අතුරු ජාතික අයවැයට අනුව ගුවන් සමාගම් 2 සඳහා මූල්‍ය ලබාදීමක් පිළිබඳව සඳහන් වී නැත. 2015 නොවැම්බර් මස ඉදිරිපත් කළ ජාතික අයවැය වාර්තාවේ ද මේ පිළිබඳව සඳහන් වී නොමැත. ගුවන් සමාගමේ මෙම වසරේ මූල්‍ය වියදම් රුපියල් බිලියන 5.6 වන අතර එය පසුගිය වසර හා සැසඳීමේ දී 16% වර්ධනයකි. ‍මෙම ඇමරිකානු ඩොලර් මිලියන 125 ක මූල්‍ය ප්‍රාග්ධනය නොලැබීම නිසා බැංකු මගින් අමතර ණය ප්‍රමාණයක් ලබාගැනීමට සිදුවූ අතර එම නිසා මෙම මූල්‍ය වසර තුළ රුපියල් බිලියන 1.73 ක අමතර පොළී වියදමක් දැරීමට සිදුවිය.

    මෙම අභියෝග හමුවේ වුවත් ගුවන් සමාගම පාලනය කළ හැකි වියදම් අවම කර එමගින් සුවිශේෂී ඉතිරියක් ඇතිකර ගුවන් සමාගමේ කාර්ය සාධනය වර්ධනය කිරීම සදහා කටයුතු කර ඇත. මෙම ප්‍රයන්තයන් ක්‍රියාවට නංවනු ලැබුවේ ආයතනයේ සියලුම වියදම් ඉමහත් අවධානයට යොමු කිරීමෙනි. තවද ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලය විසින් ඉදිරිපත් කළ ඵලදායී අදහස් ක්‍රියාවට නංවමින් විකුණුම්කරුවන් හා සාකච්ඡා කර එමගින් වියදම් අවම කිරීමට ගුවන් සමාගම විසින් සිදුකළ ප්‍රයන්තයන් මෙම කාර්ය සාධනය වර්ධනය කරගැනීම සඳහා හේතුකාරක විය.

    නව වෙළෙඳපොල ප්‍රවණතා සහ ආදායම් වර්ධනය ගුවන් සමාගම මුහුණපාන අනාගත අභියෝගාත්මක කරුණුය. එමගින් ගුවන් සමාගම වියදම් පාලනය කරමින් අඛණ්ඩව කටයුතු කරන අතර පවතින ක්‍රියාදාමයන් නවකරණය කර ඵලදායිතාවය වර්ධනය කිරිම තුළින් ගුවන් සමාගමේ ස්වයං මූල්‍ය වර්ධනය අත්පත් කරගැනීමට කටයුතු කරනු ඇත.

    පසුගිය වසරේ කැබිනට් මණ්ඩලය විසින් තිරසාර අනාගතයක් උදෙසා අනුමත කළ ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ ගුවන් සමාගම විසින් මූලික ගැටළු කිහිපයක් කෙරෙහි අවධානය යොමුකළ යුතුව ඇත. ගුවන් යානා ප්‍රතිව්‍යුහගත කිරීම සහ පසුගිය කළමනාකාරීත්ව විසින් ඇණවුම් කළ A350-900 ගුවන් යානා මෙහිදී ප්‍රමුඛ අවධානයට පාත්‍ර විය. මෙම ගුවන් යානා පවතින මෙහෙයුම් වාතාවරණය සහ අධික කල්බදු වියදම් සළකා බැලීමේ දී ගුවන් සමාගමට නුසුදුසු බවත් මිල අධික බවත් තහවුරු විය. මේ හේතුවෙන් ගුවන් සමාගම පටු බඳ සහිත ගුවන් යානා අඛණ්ඩව ලබාගැනීමටත් මෙම A350-900 ගුවන් යානා ඇණවුම් ප්‍රමාද කිරීම හෝ මේ වන විට ඇණවුම් කරන ලද පුළුල් බඳ සහිත ගුවන් යානා වෙනස් කිරීමටත් කටයුතු කරනු ඇත. මෙම සාකච්ඡා උසස් මට්ටමින් පවතින අතර ගුවන් සමාගම කොටස්කරුවන් සමග අඛණ්ඩව මේ පිළිබඳව සාකච්ඡා පවත්වනු ලබයි.

    මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සදහා දැනට පවතින කලින් නොපැවති වෙළෙඳපොල වෙනස්කම් සැළකිල්ලට ගනිමින් ගුවන් ගමන් මාර්ග විශේෂයෙන් වෙනස් කිරීම අවශ්‍යතාවයක් ලෙස හදුනාගෙන ඇත. කෙසේ වෙතත් ගුවන් සමාගම ගුවන් මාර්ග වෙනස් කිරීම සඳහා ගනු ලැබූ තීරණ තුළින් කිසිසේත් අප සංචාරක ක්ෂේත්‍රයට සෘණාත්මක බලපෑමක් සිදු වීමට කටයුතු නොකිරීමට ගුවන් සමාගම වගබලා ඇත. එමනිසා සියලුම වෙනස්කම් අදියරෙන් අදියර සිදුකිරීමටත් ප්‍රමාණවත් කාලයක් තුළ සංචාරක ක්ෂේත්‍රය සහ පාරිභෝගිකයන් දැනුවත් කිරීමටත් ගුවන් සමාගම කටයුතු කරනු ඇත.
    මෙම කාලයේ දී ගුවන් සමාගමේ පවතින අර්බුධකාරි මූල්‍ය තත්ත්වය සැළකිල්ලට ගනිමින් මුදල් අමාත්‍යාංශය සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය ගුවන් සමාගමේ නුදුරු අනාගතයේ මුදල් අවශ්‍යතා පිළිබඳව විමර්ශනය කරමින් පවතී. අමාත්‍යාංශය මගින් ගුවන් සමාගම වෙත උපදෙස් ලබා දී ඇත්තේ ලබන මාස 6 තුළ ගුවන් සමාගමේ මූල්‍ය (පවතින ණය ඇතුළුව) සියල්ල ප්‍රතිව්‍යුහගත කළයුතු බවයි.

    ගුවන් සමාගමේ කොටස්කරුවන් විසින් පෙන්වා ඇත්තේ සමාගම පුද්ගල සහ මහජන පාර්ෂවතාවයන් ( Public Private Partnership (PPP) යටතේ පවත්වා ගෙන යාමට හැකි බවයි. ශ්‍රී ලංකා රජයේ පුළුල් අරමුණු සාක්ෂාත් කිරීම සඳහා විශේෂ කමිටුවක් ද මේ අනුව තෝරාපත් කරගෙන ඇත. ගුවන් සමාගම මෙම කමිටුව සමඟ එක්ව කටයුතු කරමින් එහි උපදෙස් මත පුද්ගල සහ මහජන පාර්ෂවතාවයන් සහිත සමාගමක් පිහිටුවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටියි. තිරසාර දිගුකාලීන අනාගතයක් ලබාදීම වෙනුවෙන් ගුවන් සමාගම ඇතුළු සියලුම පාර්ශවකරුවන් ලබන මාස 6 තුළ මෙම ක්‍රියාවලිය ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වේ.