පසුගිය වසරේ පෙට්‍රල් ඉල්ලුම 40% කින් වැඩිවෙලා

    July, 16, 2018

    රටේ සමස්ත ඉන්ධන ඉල්ලුම සඳහා ආනයන මත යැපීම හේතුවෙන් වර්ෂය පුරාම ඛනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කරනු ලබයි. 2017 වර්ෂයේ දී ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය සඳහා වන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 3,167 ක්වූ අතර එය 2017 වසරේ රටේ සමස්ත ආනයනවලින් සියයට 11.9 ක් නිරූපණය කරනු ලබයි.

    2013 වසරේ සිට පහළ යමින් තිබූ ජාත්‍යන්තර තෙල් මිල ගණන් 2017 වසරේ ආරම්භයත් සමගම ඉහළ යෑම ආරම්භ විය. 2013 වසර අවසාන වන විට බැරලයට ඩොලර් 11 ක් පමණ පැවති යූ.කේ. බ්‍රෙන්ට් බොරතෙල් මිල ගණන් 2016 වසර අවසානය වන විට බැරලයකට ඩොලර් 54 ක් දක්වා පහත වැටී තිබූ අතර 2017 වසරේ අවසාන වන විට එය බැරලයට ඩොලර් 64 ක් පමණ විය.

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ 2017 වසරේ මුළු ආදායම රටේ දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 4 ක් නිරූපණය කරන අතර එය 2016 වසරට සාපේක්ෂව සියයට 21 කින් වැඩිවී ඇත. පෙට්‍රල් සඳහා වන ඉල්ලුම සියයට 40 කින් ද, ඩීසල් සඳහා වන ඉල්ලුම සියයට 10 කින් ද, විදුලිබල උත්පාදනය සඳහා යොදා ගනු ලබන අඩු සල්පර් සාන්ද්‍රණයක් සහිත දැවිතෙල් සඳහා ඉල්ලුම තුන් ගුණයකින් ද ඉහළ යාම මේ කෙරෙහි බලපාන ලදී.

    රුපියල් මිලියන 3,504 ක් තරම් පහළ අගයක් වන ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ලාභය ද වාර්තා වී ඇත්තේ ඩීසල් හා දැවිතෙල් ධන ලාභාන්තිකයක් සහිතව විදුලිබල නිෂ්පාදන අංශය වෙත විකිණීම තුලින් බව පෙනී යයි.

    2017 රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාවෙහි මේ බව සඳහන් වේ.