September, 24, 2026
ප්රමුඛ පෙළේ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Fitch Ratings විසින් නිකුත් කළ නවතම නිවේදනය අනුව ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ ණය පැහැරහැරීම් ශ්‍රේණිගත කිරීම (Long-Term Issuer Default Ratings – IDRs) ‘CCC+’ සිට ‘B-’ දක්වා ඉහළ දමා තිබේ.
මෙම ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ පසුගිය වසර දෙකක කාලය තුළ මෙරට ආර්ථික ක්ෂේත්රයේ ලබාගත් ජයග්‍රහණ නිසා බව Fitch Ratings ආයතනය නිකුත් කළ නිවේදනයේ කරුණු උපුටා දක්වමින් කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි.
රජයේ ආදායම් රැස්කර ගැනීමේ හැකියාව ඉහළ යාම මෙහිදී කැපී පෙනෙයි. විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්කය වූ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 15.3%ක් රැස්කිරීම අභිබවා ගොස් 2025 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 16.7%ක රාජ්‍ය ආදායමක් රැස්කර ගැනීමට රජය සමත් විය. ආදායම ඉහළ නංවා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රාථමික ශේෂයේ 2.3%ක ඉලක්කය අභිබවා 2025 වසරේදී 5.4%ක ප්‍රාථමික ශේෂයක් අත්පත් කරගැනීමට ද හැකියාව ලැබුණි. එමනිසා රජයට ණය ලබාගැනීමේ අවශ්‍යතාව පහළ යාමත්, ලබාගෙන ඇති ණය ගෙවීමේ හැකියාව ඉහළ යාමත් සිදුවීම මෙසේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ යාමට ප්‍රධාන හේතුවක් බව අනිල් ජයන්ත මහතා පෙන්වා දෙයි.
එපමණක් නොව කම්පන හමුවේ ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කිරීමද මෙම ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දැමීමට හේතුවක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. විශේෂයෙන්ම දිට්වා සුළි කුණාටු ආපදාව සහ මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේත් ආදායම් රැස්කර ගැනීමේ හැකියාව අඛණ්ඩව පෙන්නුම් කිරීමට මෙරට ආර්ථිකය සමත් විය.
ණය ආපසු ගෙවීමේදී තවත් වැදගත් කොටසක් වන බාහිර අංශයේ ශක්තිමත් බවද මෙහිදී සැලකිල්ලට ගෙන ඇත. විශේෂයෙන්ම මෙරට අපනයන ආදායම, සංචාරක ආදායම සහ විදෙස් ප්‍රේෂණ ඔස්සේ මෙරටට කොපමණ විදෙස් විනිමය රැස්කර ගැනීමේ හැකියාවක් පවතීද යන්න මෙහිදී සලකා බැලේ. මැදපෙරදිග අර්බුදය වැනි බාහිර බලපෑම් මධ්‍යයේ විදෙස් සංචිත රැස්කර ගැනීමට සමත් වීම මෙහිදී කැපී පෙනෙයි.
Video Story