ප්‍රකෝටිපතියෙකුගෙන් ශ්‍රී දළදා මාළිගාවට කෝටි ගණනක ‘කොටස්‘ පරිත්‍යාගයක්

    March, 3, 2022

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් අතුරින් 5 වැනි තැනට විශාලතම සමාගම වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ, කමන්ත අමරසේකර මහතා විසින් මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පරිත්‍යාගයක් සිදුකර තිබේ.

    මෙහි ඇති විශේෂත්වය නම් එම පරිත්‍යාගය සමාගම් කොටස්වලින් ලබා දීමයි.

    අද (03) බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමේ කොටස් මිලියන 10 ක් මෙලෙස ශ්‍රී දළදා මාළිගාව වෙත පරිත්‍යාග කිරීමට කමන්ත අමරසේකර මහතා කටයුතු කර ඇත. මේ සඳහා සලකා බලන ලද මිල කොටසකට රු. 11.90 ක් වේ.

    ඒ අනුව බලන කල මෙම පරිත්‍යාගයේ මූල්‍යමය වටිනාකම රු. මිලියන 119 ක් හවත් රු. කෝටි 11.9 කි.

    මීට පෙර 2021 වසරේ සැප්තැම්බර් 28 දින බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමේ කොටස් මිලියන 5 ක් හෙල්පේජ් ශ්‍රී ලංකා ආයතනය වෙත පරිත්‍යාග කිරීමට ද කමන්ත අමරසේකර මහතා කටයුතු කර තිබුණි.

    2020 වසරේ දෙසැම්බර් 22 දින බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී හි කොටස් මිලියන 750 ක් කමන්ත අමරසේකර මහතා විසින් මිල දී ගනු ලැබීය. ඒ එක් කොටසක් රු. 4.00 බැගිනි.

    බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී හි කොටස්කරුවන්ගේ ලැයිස්තුවේ 6 වැනි ස්ථානයේ වැජඹෙන කමන්ත අමරසේකර මහතා මේ වන විට එම සමාගමේ කොටස් මිලියන 735 කට හිමිකම් කියනු ලබයි.

    කමන්ත අමරසේකර Kelani Tyres PLC, Lanka Milk Foods (CWE) PLC, Madulsima Plantations PLC, Balangoda Plantations PLC, Eden Hotel Lanka PLC, Ceylon Hotels Corporation PLC, Palm Garden Hotels PLC, සහ AgStar PLC යන ලැයිස්තුගත සමාගම්වල ද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වේ.