ප්‍රමිතියෙන් තොර ධීවර දැල් නිපදවූ සමාගමකට වැඩ වරදී

    March, 18, 2018

    ප්‍රමිතියෙන් තොර දැල් නිෂ්පාදනය කළ සමාගමකට වහාම අදාළ මුදල එම දැල් මිල දී ගත් ධීවර කාර්මිකයින්ට ගෙවන්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා නියෝග කරයි.

    තමන් විසින් එක්තරා සමාගමක් මගින් නිපදවන ලද ධිවර දැල් මිල දී ගත්තත් ඒවා නිසි ප්‍රමිතියෙන් නොමැතිබවට පවසමින් ධිවර නියෝජිතයින් පිරිසක් පසුගිය දා (16) පස්වරුවේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී සාකච්ඡා කර තිබේ.

    මෙම අවස්ථාවට පැමිණි ධීවර නියෝජිතයින් තමන් විසින් මිල දී ගන්නා ලද ධීවර දැල් ද රැගෙන පැමිණි අතර ඒවා මාළුවෙක් හසුවු ගමන්ම දැළ ඉරෙන බවත්, මේනිසා වෙහෙස මහන්සි වී මුහුදට ගියත් හිස් අතින් තමන්ට ආපසු ගොඩබිමට පැමිණීමට සිදුවන ඔවුහු පැවසූහ. එමෙන්ම දැල් පහසුවෙන් ඉරෙන ආකාරය ද ධීවරයෝ අමාත්‍යවරයාට පෙන්වා දුන්හ.

    මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා එම දැල් මිල දී ගත් ධිවරයින්ට අදාල මුදල් වහාම ගෙවන ලෙස උපදෙස් දුන්නේය. එසේ නොවුනහොත් එම සමාගම අසාදු ලේඛනගත කරන බවත්, ඉන් අනතුරුව ඔවුන්ට සිදුවන්නේ මාළු දැල් නිපදවීමට නොව මදුරු දැල් නිපදවීමට බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    එමෙන්ම මෙම කාරණය සම්බන්ධයෙන් සොයා බලා වෙළෙදපොලේ අලෙවි කෙරන ධීවර ආම්පන්නවල ප්‍රමිතිය සොයා බැලීමේ වැඩ පිළිවෙළක් සකස් කරන්නැයි අමාත්‍යාංශයේ නිලධාරින්හට උපදෙස් දෙනු ලැබීය.මේ වනවිට මෙම සමාගමෙන් එක් ධීවරයෙක් රුපියල් ලක්ෂ 08ක් පමණ වටිනා දැල් මිල දී ගෙන ඇති අතර එවැනි ධිවරයින් සිය ගණනක් මෙම සමාගමේ දැල් මිල දී ගැනීම නිසා අසරණ වී සිටින බව ද ධීවර ප්‍රජාව පෙන්වා දුන්නේය.

    කෙසේ වුවද මේ සම්බන්ධයෙන් අදාළ සමාගම ගන්නා පියවර දෙස අවධානයෙන් සිටින්නැයි ද අමාත්‍යවරයා නිලධාරින්හට උපදෙස් දෙනු ලැබීය.