ප්‍රාග්ධන ලාභ බද්දට බියෙන් කොළඹ කොටස් 100 කින් පහළ යයි

    March, 8, 2016

    වසරේ මේ දක්වා 13.7% කින් කොටස් වෙළෙඳපොළ පහළට

    කොටස් ගනුදෙනු සඳහා ප්‍රාග්ධන ලාභ බද්දක් හඳුන්වා දීමට නියමිත බව වාර්තාවීමත් සමඟම කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (08) මධ්‍යහ්නය වන විට ඉතා අසතුටුදායක මට්ටමකට පත්ව තිබිණි. ඒ වන සියලු කොටස් මිල දර්ශකය ඒකක 114.15 කින් පහළ ගොස් තිබූ අතර 2014 අප්‍රේල් 01 වනදායින් පසු පළමු වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,000 සීමාවෙන් මෙපිටට පැමිණ තිබුණි.

    මේ සම්බන්ධයෙන් අද දෙරණ Biz කළ විමසීමක දී කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමයේ සභාපති, කැන්ඩර් සමූහ අධ්‍යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී රවී අබේසූරිය මහතා මෙසේ අදහස් දැක්වීය.

    “කොටස් වෙළෙඳපොළට ප්‍රාග්ධන ලාභ බද්දක් හඳුන්වා දෙන බවට කටකතාවක් මේ වන විට පැතිර යමින් තිබෙනවා. මේ නිසා අද ඒකක 100 කින් සියලු කොටස් මිල දර්ශකය පහළ ගොස් තිබෙන අතර මෙය කොටස් වෙළෙඳපොළට පමණක් හඳුන්වා දෙන බද්දක් නොවන බවයි ආරංචි වී ඇත්තේ. රජයට ආදායම් ලබා ගැනීම පිණිසයි මෙවැනි දෙයක් කරන්නේ. ප්‍රාග්ධන ලාභ බද්ද ඉන්දියාව, එංගලන්තය, ඇමරිකාව වැනි රටවල ක්‍රියාත්මක දෙයක්. මෙවැනි දෙයක් අනිවාර්යයෙන්ම කොටස් වෙළෙඳපොළට බලපෑමක් ඇතිකරනු ලබනවා“.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමයේ සභාපතිවරයා කියා සිටියේ මීට පෙර කොටස් ගනුදෙනු සඳහා ගනුදෙනු බද්දක් හඳුන්වා දී තිබූ බවත් පසුගිය අයවැය යෝජනවා අනුව 2016 ජනවාරි 01 වැනිදා සිට එම බද්ද අහෝසි කිරීමට පියවර ගනු ලැබූ බවත්ය.

    “පසුගිය වසර 10 ක කාලය තුළ මෙම ගනුදෙනු බද්ද නිසා රජයට රුපියල් බිලියන 13.8 ක ආදායමක් ලැබී තිබුණා. එවැනි බද්දක් අහෝසි කර, ප්‍රාග්ධන ලාභ බද්දක් හඳුන්වා දීමෙන් එවැනි ආදායමක් රජයට ලබා ගත හැකි වේ යැයි සැක සහිතයි. එම බද්ද හඳුන්වා දෙනවා යැයි කියූ සැණෙකින් අපේ වෙළෙඳපොළ ප්‍රතිචාර දක්වන හැටි අද පෙනෙන්නට තිබෙනවා“, යැයි රවී අබේසූරිය මහතා මෙහිදී කියා සිටියේය.

    මේ වන විට විදේශ සංචිතවල පහළ යාමක් තිබෙන බවත් ඒ සඳහා තිබෙන හොඳම මාර්ගයක් වනුයේ කොටස් වෙළෙඳපොළ වෙත සෘජු විදේශ ආයෝජන ලබා ගැනීම බවත් පැවසූ අබේසූරිය මහතා මෙහිදී පැවසුවේ මෙවැනි හඳුන්වා දීමක් නිසා විදෙස් ආයෝජන ශ්‍රී ලංකාවට පැමිණීම අධෛර්යයමත් විය හැකි බවයි.

    “ප්‍රාග්ධන ලාභ බද්දක් ක්‍රියාත්මක කළහොත් එය සෑම අංශයකටම බලපානවා. ඉඩම් ගනුදෙනුවක දී ප්‍රාග්ධන ලාභයක් ලැබුවහොත් ඒ සඳහා බදු ගෙවීමට මෙහිදී සිදුවෙනවා. ඉඩම් පමණක් නොවෙයි ප්‍රාග්ධන ලාභයක් ලැබිය හැකි ඕනෑම ගනුදෙනුවක දී මෙම බද්ද බලපානු ලබනවා.“

    “යම් ආයෝජකයෙකුගේ ආයෝජන කළඹ සලකා බලා එක් එක් සමාගම් කොටස් සඳහා ප්‍රාග්ධන ලාභ හා අලාභ ගණනය කොට අවසාන වශයෙන් ආයෝජන කළඹේ ඇති ප්‍රාග්ධන ලාභය මෙම බද්දට යටත් වන බවයි මගේ අදහස. කෙසේ වෙතත් වර්තමාන තත්ත්වය අනුව කොටස් ආයෝජනය තුළින් දිගින් දිගටම අලාභ වන තත්ත්වයක් තමයි පෙනෙන්ට තියෙන්නේ. මෙහිදී රජයට බදු ගෙවනවාට වඩා රජයෙන් ආයෝජකයින්ට ගෙවන්නට වන තත්ත්වයක් තමයි දකින්න තිබෙන්නේ. කෙසේ වෙතත් මෙවැනි බද්දක් ක්‍රියාවට නැංවීමේදී ප්‍රායෝගික ගැටළු රැසටක මුහුණ පාන්නට රජයට සිදුවේවි“, යැයි ඔහු අවසාන වශයෙන් පැවසීය.

    2016 වසර ආරම්භයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,894.50 ක් ලෙසින් වාර්තා වූ අතර අද මධ්‍යහ්නයේ දී එහි අගය ඒකක 5,943.07 ක් විය.

    මේ අනුව වසරේ මේ දක්වා කාලය තුළ ඒකක 951.43 කින් හෙවත් 13.79% කින් සියලු කොටස් මිල දර්ශකය පහළ ගොස් තිබේ. මෙහි ඇති විශේෂත්වය නම් පසුගිය 2015 වසර පුරාවටම සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාම5.5% ක් පමණක් වීමයි.