පාන් පහකින්, කොත්තු දහයකින් ඉහළට? තිරිඟු පිටි මිල වැඩිවීම හමුවේ නිෂ්පාදිත මිල ඉහළ යන හැටි ව්‍යාපාරිකයෝ කියති

    July, 17, 2019

    තිරිඟු පිටි මිල ඊයේ සිට ඉහළ දැමීමට මෙරට තිරිඟු පිටි අලෙවියේ නිරත ප්‍රධාන සමාගම් දෙක වන ප්‍රීමා සිලෝන් සමාගම හා සෙරන්ඩිබ් තිරිඟු පිටි සමාගම තීරණය කර තිබේ. මේ අනුව ප්‍රීමා තිරිඟු පිටි කිලෝවක මිල රු. 8 කින් සහ සෙරන්ඩිබ් තිරිඟු පිටි කිලෝවක මිල රු. 7කින් ඊයේ දින සිට ඉහළ යන ලදී.

    මේ වන විට වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝවක මිල රු. 80-110 ත් අතර වේ.

    මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමක දී සෙරන්ඩිබ් තිරිඟු පිටි සමාගමේ අලෙවි හා සන්නිවේදන අංශ ප්‍රධානී කාලිංග විජේසේකර මහතා කියා සිටියේ, ලෝක වෙළෙඳපොළේ තිරිඟු පිටි මිල වැඩිවීම හා ඩොලරයේ අගය ඉහළ යාම මත අවම වශයෙන් රු. 7 කින් තිරිඟු පිටි මිල ඉහළ දැමීමට සිදුව ඇති බවයි. ඒ අනුව සෙරන්ඩිබ් තිරිඟු පිටි කිලෝවක මිල රු. 86 සිට රු. 93 දක්වා වැඩි වන බව ඔහු වැඩදුරටත් කියා සිටියේය.

    මෙම මිල වැඩීමත් සමඟම පාන් මිල රු. 5කින් වැඩි කිරීමට සිදුවන බවත්, එක කොත්තුවකට රු. 10 ක් පමණ මිල ඉහළ දමන්නට සිදුවන බවත් වෙළෙඳුන් කිහිපදෙනෙකු අද දෙරණ වෙත කියා සිටියෝය.

    මේ පිළිබඳ වීඩියෝව පහතින් නැරඹිය හැකිය.