පාරිභෝගිකයන්ට අසමසම වාහන පෙළක් ලබාදීම සඳහා ikman.lk සහ ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය අත්වැල් බැඳ ගනී

    September, 28, 2017

    මෙරට විශාලත ම අන්තර්ජාල වෙළඳපලවන ikman.lk සහ ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (VIAL) උසස් ප්‍රමිතියෙන් යුතු වාහන සඳහා ප්‍රවේශ වීමේ අවස්ථාව මෙරට පාරිභෝගික ජනතාවට උරුමකර දීම සඳහා අත්වැල් බැඳ ගත්තේය.

    මෙරට ප්‍රමුඛත ම වාහන ආනයන සංවිධානයවන ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සමග කීර්තිමත් වාණිජ ආයතන 400කට අධික ප්‍රමාණයක් සාමාජිකත්වය දරයි. මෙම සහයෝගීතාව හරහා, විශ්වසනීය මෙන්ම අසමසම ලියාපදිංචි නොකළ, භාවිත කළ සහ රීකන්ඩිෂන් වාහන පෙළක් වෙතට පිවිසීමට මෙරට පාරිභෝගිකයන් හට අවස්ථාව උදා වේ.

    මෙරට රථවාහන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සතු විශේෂඥ දැනුම සහ අත්දැකීම් සම්භාරය සමගින් ikman.lk පාරිභෝගිකයන් හට වාහන ආනයනකරුවන්ගේ සංගම් සාමාජිකයන් ලබා දෙන සැබෑ මිල ගණන් යටතේ නියම ආනයනික රථ වාහන මිලදී ගැනීමට හැකි වේ.

    වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජිකයන් දැන්වීමක් පළ කිරීමේදී ඔවුන් පහසුවෙන් හඳුනාගැනීම සඳහා එම දැන්වීමෙහි 'VIAL Certified' යනුවෙන් සන්නාමනය කිරීමට ikman.lk කටයුතු කරයි.

    "ශ්‍රී ලංකාවේ වාහන ආනයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත ම සංවිධානයවන වාහන ආනයනකරුවන්ගේ සංගමය සමග මෙලෙස අත්වැල් බැඳ ගැනීමට හැකි වීම පිළිබඳ අප ඉතා සතුටු වනවා. රථ වාහන මිල කිරීම ඇතුළු වාහන සම්බන්ධ ක්ෂේත්‍ර කිහිපයක ප්‍රමිතිය ස්ථාපනය කිරීම සඳහා මෙම සහයෝගය බෙහෙවින් වැදගත්වනු ඇත. ආනයනය කරන ලද ප්‍රමිතියෙන් උසස්, නියම වාහන සැබෑ මිල ගණන් යටතේ මිලදී ගැනීමට මෙමගින් අපගේ පාරිභෝගිකයන්ට අවස්ථාව උදා වනවා" යනුවෙන් ikman.lk කාණ්ඩ කළමනාකරණ අධ්‍යක්ෂ රවී දි මෙල් මහතා සඳහන් කළේය.

    වාහන අපනයනකරුවන්ගේ සංගමයේ සියලු සාමාජිකයන් හට තමන් පළ කළ දැන්වීම නරඹන ලද පාරිභෝගිකයන් සහ එම දැන්වීම අනුව කටයුතු කළ පාරිභෝගිකයන් පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් මාසිකව යොමු කෙරේ. වාහන ආනයනකරුවන්ගේ සංගමය වෙත යොමු කෙරෙන මෙම වාර්තාව රථ වාහන ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා ද අතිශය වැදගත් වේ.

    "ikman.lk සමග අත්වැල් බැඳ ගැනීම තුළින්, දැරිය හැකි මිලකට ප්‍රමිතියෙන් උසස් වාහන මිලදී ගැනීම සඳහා අප සංගමය විශ්වසනීය මූලාශ්‍රයක් ලෙස ස්ථාපිත වනවා. එමෙන්ම, මෙමගින් අපගේ සාමාජිකයන් හට සැබෑ වාහන ගැනුම්කරුවන් වෙත ප්‍රවිෂ්ඨ වීමේ අවස්ථාව ද උදා වනවා" යනුවෙන් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙන්චිගේ මහතා ප්‍රකාශ කළේය.

    වාහන ආනයනකරුවන්ගේ සංගමය සමග පවතින සබඳතාව තවදුරටත් සවිමත් කරමින් ikman.lk එම සංගමයේ මහ සභා රැස්වීමට ද සම අනුග්‍රාහකත්වය ලබා දුන්නේය.