පාසැල් සිසුන්ට Coding දැනුම

    February, 2, 2017

    ‘ඩිජිටල් ශ්‍රී ලංකාවක්‘ දැක්ම තව දුරටත් සවිබල ගන්වමින් පාසැල් සිසුන් සදහා කේතකරණය (Coding) පිලිබද දැනුම ලබා දීමට පියවර ගැනේ.

    මෙය නියමු ව්‍යාපෘතියක් වශයෙන් ප්‍රථමයෙන් බස්නාහිර පළාතේ කොළඹ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක වල පාසැල් 14 ක ක්‍රියාත්මක කෙරේ.

    අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) ඒකාබද්ධව මෙය ක්‍රියාවට නංවා ඇත.

    මෙම නියමු ව්‍යාපෘතියේ දී තෝරා ගන්නා ලද පාසැල් වල සිසුන් 200කට පමණ සති හයක පමණ කාලයක් මෙම දැනුම ලබා දෙන අතර ඒ සදහා රාජ්‍ය සහ පෞද්ගලික විශ්ව විද්‍යාල සිසුන්, මෘදුකාංග ක්ෂේත්‍රය පිලිබඳ දැනුමැති ප්‍රවීනයින්ගේ සහාය ලබා ගැනේ.

    මෙම කේතකරණ (Coding) ව්‍යාපෘතිය නොබෝදා කොළඹ දී නිල වශයෙන් ආරම්භ කෙරිණි. එහිදී අදහස් දැක්වු ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ අධ්‍යක්‍ෂ මණ්ඩල සමාජික ආචාර්ය අජිත් මදුරප්පෙරුම මහතා කේතකරණය පිලිබද දැනුම ලබා ගැනීමෙන් පරිගණක වැඩසටහන් සම්පාදන කිරීමෙන් ඔබ්බට ගොස් නිර්මානශීලී දැනුම, තර්කානුකූලව සිතීමේ නිපුණතාවය මෙන්ම ගැටළු විසදීමේ කුසලතාවය ජීවිතයට සමීප කර ගැනීමට හැකිවන බව පැවසීය.

    මෙම නියමු ව්‍යාපෘතිය සදහා දායකත්වය ලබා දෙන විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශීෂ්‍යාවන් ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් ඇතුළු පිරිසක් සහභාගි විය.

    මෙම කේතකරණ (Coding) නියමු ව්‍යාපෘතියෙන් පසු දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පාසැල් සියයකට අයත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් හත්දහසක පමණ පිරිසකට මෙම දැනුම ලබා දීමට නියමිතය.

    අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්‍ෂිකා වාසනා එදිරිසුරිය සහකාර අධ්‍යක්‍ෂිකා උදාරා දික්කුඹුර, මෘදුකාංග ක්ෂේත්‍රයේ ප්‍රවීනයකු වු අනුරාධ රත්තවීර ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ අධ්‍යක්‍ෂ (ව්‍යාපෘති) අරුනේෂ් පීටර් හා වැඩසටහන් කළමණාකරු ගවශ්කාර් සුබ්‍රමනියම් යන මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාවට සහභාගි වුහ.