පාසැල් 25 කට උපකරණ ප‍්‍රදානය කරමින් සියැට් යළිත් මාර්ග සුරක්ෂිතතා වැඩසටහන අරඹයි

    March, 16, 2022

    සියැට් කැළණි සමාගම ශ‍්‍රී ලංකාව තුළ සිදුකරන ප‍්‍රමුඛතම සමාජ සත්කාරක වැඩසටහන වන පාසැල් මාර්ග සුරක්ෂිතතා වැඩසටහන නැවතත් ආරම්භ කරමින් දිවයිනේ දිස්ත‍්‍රික්ක කිහිපයක පාසැල් 25 ක් වෙත මාර්ග සුරක්ෂිතතා උපකරණ ප‍්‍රදානය කර ඇත.

    මාර්ග සුරක්ෂිතතාවය කෙරහි සෘජුවම සම්බන්ධ භාණ්ඩ නිෂ්පාදකයෙකු ලෙස සිදුකරන මෙම වැඩසටහන යටතේ සියැට් විසින් මාර්ග තදබදය වැඩි කොළඹ, ගම්පහ, මහනුවර සහ හලාවත ප‍්‍රදේශ වල පාසැල් සඳහා සංඥා පුවරු 175 ක් සහ ට‍්‍රැෆික් කෝන් 200 ක් බෙදා දී තිබේ.

    පාසැල් මාර්ග සුරක්ෂිතතා වැඩසටහන යළිත් ආරම්භ කිරීම පිළිබඳව සියැට් කැළණි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රවී ඩඞ්ලානි මහතා මෙසේ අදහස් දැක්වීය. ‘වසංගතයෙන් පසුව මේ වනවිට බොහෝ පාසැල් ආරම්භ කර තිබෙන නිසා මාර්ගවල තදබදය යළිත් වසංගතයට පෙර පැවති තත්ත්වයටම පත්වී තිබෙනවා. මේ නිසා, අපගේ වැඩසටහන නැවතත් ආරම්භ කිරීම කාලෝචිතයි. මාර්ග තදබදයක් සහිත ප‍්‍රදේශවල පාසැල් වෙත මාර්ග සුරක්ෂිතතා උපකරණ ලබාදීම තුළින් සිසුන්ගේ වගේම දෙමව්පියන්ගේ සහ ගුරුවරුන්ගේද සුරක්ෂිතතාවය තහවුරු වන අතරම මහජනතාවට මාර්ග නීති අනුගමනය කිරීමටත් සුපරික්ෂාකාරීව රිය ධාවනය පිළිබඳව මතක් කිරීමක් සිදුවනවා.’

    2022 මාර්ග සුරක්ෂිතතා වැඩසටහන මගින් හලාවත ආනන්ද විද්‍යාලය, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය, රාගම බැසිලිකා විද්‍යාලය, කොළඹ ඞී.එස්. සේනානායක විද්‍යාලය, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය, කැස්බෑව ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලය, ගනේමුල්ල ගලහිටියාව මධ්‍යම මහා විද්‍යාලය, කොළඹ යහපත්වූ එඬේරාගේ කන්‍යාරාමය, ගම්පහ හෝලි ක්‍රොස් විද්‍යාලය, කොළඹ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය, කොළඹ ඉසිපතන විද්‍යාලය, මහනුවර කින්ග්ස්වුඞ් විද්‍යාලය, දෙහිවල ප්‍රෙස්බටේරියන් කාන්තා විද්‍යාලය, කෝට්ටේ ජනාධිපති විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය, යක්කල ශ‍්‍රී චන්ද්‍රජෝති මහා විද්‍යාලය, කැළණිය ශ‍්‍රී ධර්මාලෝක මධ්‍යම මහා විද්‍යාලය, කොළඹ ශාන්ත ලෝරන්ස් කන්‍යාරාමය, හලාවත ශාන්ත මරියා විද්‍යාලය, කොළඹ ශාන්ත පාවුලූ කාන්තා විද්‍යාලය, වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලය, කොළඹ ශාන්ත පීතර විද්‍යාලය, කොළඹ තර්ස්ටන් විද්‍යාලය, කොළඹ වෙස්ලි විද්‍යාලය සහ ගම්පහ යසෝදරා දේවී බාලිකා විද්‍යාලය ප‍්‍රතිලාභ ලබා ඇති බව සියැට් කැළණි සමාගම සඳහන් කරයි.

    සියැට් විසින් මීට පෙර සංවිධානය කරන ලද ‘මාර්ග සුරක්ෂිතතා’ වැඩසටහනේදී පාසැල් දරුවන්, දෙමව්පියන් සහ ප‍්‍රවාහන පහසුකම් සපයන්නන් මෙන්ම පාසැල් වෑන් රථ රියදුරන් සෘජුවම දැනුවත් කිරීමට කටයුතු කළ අතර වැඩසටහන පවත්වන සෑම පාසැලකම රථ වාහන හැසිරවීමේ අංශයට අවශ්‍ය රථ වාහන කළමනාකරණ උපාංගල ආරක්‍ෂිත කබායන්ල මාර්ග සංඥා ඇතුළු උපකරණ කට්ටලයක්ද පරිත්‍යාග කිරීමට සියැට් කටයුතු කළේය. වසංගතය නිසා විශාල සංඛ්‍යාවක් සමග සම්බන්ධ වී වැඩසටහන් කිරීම නුසුදුසු බැවින් මේ වසරේදී මෙම වැඩසටහනේදී මාර්ග සංඥා උපකරණ කට්ටල ලබාදීමට පමණක් සියැට් කටයුතු කර ඇත.

    2009 වසරේදී ‘මග යන මග’ නමින් ආරම්භ කළ මෙම වැඩසටහන මගින් මාර්ග නීති රීති පිළිබඳව ශ‍්‍රී ලාංකිකයින් දැනුවත් කිරීමේ අරමුණෙන් මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් පාසැල් දරුවන් දැනුවත් කිරීමට යොමුවී තිබේ. මේ දක්වා මෙම වැඩසටහන කොළඹට අමතරව දකුණ, උතුර, උතුරු මැද, මධ්‍යම සහ නැගෙනහිර පළාත් ආවරණය වන ලෙස පවත්වා තිබේ.

    ශ‍්‍රී ලංකාවේ වායුමය ටයර් අවශ්‍යතාවයෙන් අඩක් පමණ නිපදවන සියැට් කැළණි සමාගම මෙරට නිෂ්පාදන අංශය තුළ ඉතාමත් සාර්ථක ඉන්දියා - ශ‍්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස සැලකේ. මෙම ඒකාබද්ධ ව්‍යාපාරය සඳහා සමස්තයක් ලෙස රුපියල් බිලියන 08 කට වැඩි මුදලක් ආයෝජනය කර තිබෙන අතර ටයර් නිෂ්පාදනය පුළුල් කිරීමට, තාක්ෂණය වැඩිදියුණු කිරීමට, නව නිෂ්පාදන සංවර්ධනයට සමාගම විසින් 2022 වසරේදී තවත් රුපියල් බිලියන 3.2 ක මුදලක් ආයෝජනය කිරීමට සැලසුම් කර ඇත. සමාගම විසින් මගී මෝටර් රථ, වෑන් සහ SUV වාහන සඳහා රේඩියල් ටයර් මෙන් වාණිජ අංශයේ (නයිලෝන් සහ රේඩියල්) ටයර් සහ යතුරු පැදි, ත‍්‍රි රෝද රථ සහ කෘෂි කාර්මික වාහන සඳහා ටයර් මෙරට නිෂ්පාදනය කරයි.

    සමාගම මේ වනවිටත් මෙරට රේඩියල් ටයර් වෙළෙඳපොළින් 48% ක කොටසක්ද, ට‍්‍රක් රථ ටයර් වෙළෙඳපොළින් 80% ක කොටසක්ද, සැහැල්ලූ ට‍්‍රක්රථ ටයර් වෙළඳපොළින් 84% ක කොටසක්ද, ති‍්‍රි රෝද රථ ටයර් වෙළෙඳපොළින් 51% ක කොටසක්ද, යතුරු පැදි ටයර් වෙළෙඳපොළින් 36% ක කොටසක්ද, කෘෂිකාර්මික ටයර් වෙළෙඳපොළින් 72% ක කොටසක්ද අත්පත් කර ගැනීමට සමත්ව ඇත. සියැට් ශ‍්‍රී ලංකා විසින් නිෂ්පාදනය කරන ටයර් වලින් 20% පමණ දකුණු ආසියාවේ, මැදපෙරදිග, අපි‍්‍රකාවේ සහ අග්නිදිග ආසියාවේ රටවල් 16 ක් වෙත මේ වනවිට අපනයනය කරයි.

     

    සේයාරු සටහන - සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගමේ අලෙවිකරණ අංශයේ  ප‍්‍රධානී ප‍්‍රශාන් කොස්තා මහතා (දකුණේ) රාජකීය විද්‍යාලයේ විදුහල්පති පී.ඒ.එස්.පී. ජයලත් මහතාට මාර්ග සුරක්ෂිතතා උපකරණ කට්ටලයක් පිරිනමන ආකාරය සේයාරුවෙන් දැක්වේ.