පැකර්, අපරාධ වරදකරුවෙකු වුවහොත් ලංකාවට පැමිණීම අනතුරේ වැටෙන හැඩ

    May, 7, 2014

    ඕස්ට්‍රේලියාවේ ප්‍රධානම ධනවතෙකු වන ප්‍රකෝටිපති ව්‍යාපාරික ජේම්ස් පැකර් සහ නයින් නෙට්වර්ක්ස් ජාලයේ ප්‍රධානියා අතර පසුගියදා මහ පාරේ ඇතිවූ ගුටි කෙළියට අදාළව ජේම්ස් පැකර් අපරාධ චෝදනා මත වරදකරුවෙකු වුවහොත් එය ඔහුගේ ව්‍යාපාරික කටයුතු ශ්‍රී ලංකාව ඇතුළු කළාපයේ රටවල ව්‍යාප්ත කිරීම සඳහා බාධාවක් වනබව වාර්තා වේ.

    ඕස්ට්‍රේලියානු මාධ්‍ය විසින් වාර්තා කරන්නේ මෙම ගැටුමෙන් පසුව දෙදෙනාම තවමත් මිතුරන් බව පැවසුවත් ගැටුම පිළිබඳ පරීක්ෂණ ඕස්ට්‍රේලියානු පොලීසිය විසින් දිගටම සිදුකරගෙන යන බවයි.

    පැකර්ගෙන් පහර පිට පහර කා බිම ඇද වැටුණු ඔහුගේ දිගුකාලීන මිතුරෙකු මෙන්ම ඔහුගේ විවාහයේ දෙවන මනාලයා ලෙස කටයුතු කළ නයින් නෙට්වර්ක් හි ප්‍රධානී, ඩේවිඩ් ගයින්ජෙල්ගේ දත් පවා කැඩීගිය බව මාධ්‍ය වාර්තා කර තිබුණි.

    නීතියට අනුව දත් කැඩීමට පහරදීම අපරාධ වරදක් ලෙසින් සැලකෙන අතර එවැනි වරදක් කළ තැනැත්තෙකු අපරාධ වරදකරුවෙකු කළ යුත්තේ උසාවියක් මගිනි.

    මෙම ගැටුමට අදාළව යම් හෙයකින් ජේම්ස් පැකර් අපරාධ වරදකරුවෙකු වුවහොත් සිය ව්‍යාපාරික කටයුතු ජපානය, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව යන රටවල ව්‍යාප්ත කිරීමට කර තිබෙන සැලසුම් අනතුරේ වැටෙන බව මෙම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

    මෙම ගැටුම පිළිබඳව ඕස්ට්‍රේලියානු ABC ගුවන් විදුලියට අදහස් දක්වමින් එරට කොටස් වෙළඳ පොළ සංගමයේ ප්‍රකාශක, ස්ටෙෆාන් මෙනේ පවසා තිබෙන්නේ පැකර් විසින් සිය මිතුරාට අත මිට මොලවා එල්ල කළ මරු පහර දැන් ඔහුගේ ව්‍යාපාරික කටයුතුවල අනාගතයට එල්ලකළ මරු පහරක් වී තිබෙන බවයි.

    ලෝකයේ ප්‍රධානතම කැසිනෝ ව්‍යාපාරිකයෙකු වන ජේම්ස් පැකර්ගේ මෙම හැසිරීම ඔහුට නව කැසිනෝ බලපත් ලබාගැනීමේදී අනිවාර්යෙන්ම ප්‍රශ්නයක් වනබව විශ්ලේෂකයින් පවසා තිබේ.