පුන්නකුඩා රෙදිපිළි නිෂ්පාදන උද්‍යානයෙන් ඩොලර් මිලියන 500ක ආනයන වියදම් ඉතිරියක් – BOI සභාපති රාජා එදිරිසූරිය

    May, 2, 2022

    • රජය නැගෙනහිර පළාතේ සිදුකරන විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය
    • යටිතල පහසුකම් හා අනෙකුත් සංවර්ධන කාර්යයන් වෙනුවෙන් රුපියල් බිලියන 5 ක ආයෝජනයක්
    • ඇඟලුම් නිෂ්පාදනයේ  ප්‍රමුඛ පෙළේ සමාගම් හතරක් මේ වන විටත් ආයෝජනයට කැමැත්ත
    • ශ්‍රී ලංකාව ඇඟලුම් නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය ආනයනය වෙනුවෙන් වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 06ක් වැය කරයි. මෙම රෙදිපිළි නිෂ්පාදන උද්‍යානය ක්‍රියාත්මක වීමත් සමග ඇමරිකානු ඩොලර් මිලියන 500ක අමුද්‍රව්‍ය මෙහි නිපදවයි.
    • නව රැකියා අවස්ථා අවස්ථා 5,000 ක් පමණ ජනිත වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
    • නවීන තාක්ෂණය මුසු වූ  පරිසර හිතකාමී කර්මාන්ත උද්‍යානයක් ලෙස ස්ථාපිත කෙරේ.

    ලොව පුරා වටිනාම සන්නම සහිත ඇඟලුම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඉහළින්ම සිටින රටක් ලෙස ශ්‍රී ලංකාව නම් දරා ඇත. වැඩි වටිනාකමක් ඇති ඇඟලුම් නිෂ්පාදනයට අවශ්‍ය රෙදි හා අමුද්‍රව්‍ය සියල්ල ම පාහේ විවිධ රටවලින් මේ  වන විට ආනයනය කරයි. ඒ සඳහා වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 6 කට අධික මුදලක් වැය කිරීමට ශ්‍රී ලංකාවට සිදු වේ.

    මේ පිළිබදව වැඩි අවදානයක් යොමු කළ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) මෙරට ඇගැළුම් කර්මාන්තයට අවශ්‍ය රෙදි හා අමුද්‍රව්‍ය නිෂ්පාදනය ඉලක්ක කරගත් පුන්නකුඩා රෙදිපිළි නිෂ්පාදන උද්‍යානය පිහිටුවීමට පියවර ගෙන ඇත.

    ප්‍රථම අදියරය අක්කර 255 ක් පුරා විහිදුණු මෙම කර්මාන්ත උද්‍යානය සියලු පහසුකම්වලින් සමන්විතය. එහි මහා පරිමාණයේ කර්මාන්තශාලා සංකීර්ණ අටත් දහයත් අතර ප්‍රමාණයක් ස්ථාපිත කළ හැක.

    නැගෙනහිර පළාත වෙනුවෙන් රජය වැඩිම පිරිවැයක් දරමින් සිදුකරන සංවර්ධන ව්‍යාපෘතිය ලෙස මඩකලපුව පුන්නකුඩා රෙදිපිළි නිෂ්පාදන උද්‍යානය නම් කළ හැක. මෙම ව්‍යාපෘතියේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රජය රුපියල් බිලියන 5.5 ක මුදලක් වැය කරයි. රෙදිපිළි  නිෂ්පාදන උද්‍යානය ඉදිකිරීමට සමගාමීව ප්‍රදේශයේ යටිතල පහසුකම් හි සංවර්ධනයක් ද  අපේක්ෂා කෙරේ.

    පුන්නකුඩා රෙදිපිළි නිෂ්පාදන උද්‍යානයේ  ව්‍යාපෘති ආරම්භ කිරීමට අපේක්ෂා කරන ආයෝජකයන් පිරිසක් සමඟ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති රාජා එදිරිසූරිය මහතා සහ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම් වීරකෝන් මහත්මිය පසුගියදා ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාවට එක් විය

    මෙහිදී අදහස් දැක්වූ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති රාජා එදිරිසූරිය මහතා මෙම උද්‍යානයේ ප්‍රථම අදියර සක්‍රීය වීමත් සමග මෙරට ඇගැළුම් කර්මාන්තයට දේශීය අමුද්‍රව්‍ය එක් කර ගැනීමට අවස්ථාව ලැබීම පිළිබදව සතුටට පත්වන බව පැවසීය. එමගින්  ඇමරිකානු ඩොලර් මිලියන 500ක් විදේශයන්ට ගලා යාම නවතිනවා පමණක් නොව සම්පූර්ණයෙන් දේශීයව නිෂ්පාදනය කළ ඇඟළුම් ලෝක වෙළඳපොල වෙත ඉදිරිපත් කිරීමටද  අවස්ථාව හිමි වේ.

    එසේම නව රැකියා අවස්ථා පන්දාහක් පමණ ජනිත වන බවත්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ  ක්‍රියාත්මක වන කටුනායක, බියගම, කොග්ගල හා සීතාවක වැනි ආයෝජන කලාප ආශ්‍රිතව ගොඩනැගී ඇති ආර්ථික හා සමාජීය සංවර්ධනය පුන්නකුඩා හා අවට ප්‍රදේශයන් හි ද අපේක්ෂා කරන බව සදහන් කරයි.

    මේ වන විටත් දශක ගණනාවක් මෙරට ඇඟලුම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක කීර්තිමත් සමාගම් හතරක් මෙම උද්‍යානය සිය කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට කැමැත්ත පළකර ඇතැයි පවසන එදිරිසූරිය මහතා, මේ වන විටත් ඔවුනට අවශ්‍ය ඉඩම් වෙන් කිරීම් සිදු කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද සඳහන් කරයි. මෙහි ප්‍රථම කර්මාන්ත ශාලා සංකීර්ණය සදහා ගිවිසුම් ගත වීම ඉදිරි මාසයේදී සිදු කිරීමට අපේක්ෂා කරන බව හෙතෙම පවසයි.

    මෙම අවස්ථාවට එක් වූ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම් වීරකෝන් මහත්මිය අදහස් දක්වමින්, පුන්නකුඩා රෙදිපිළි නිෂ්පාදනය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිසි අධ්‍යයනයකින් පසු ආරම්භ කළ ව්‍යාපෘතියක් බවත්, ආයෝජන කලාපයක් පිහිටුවීමට අවශය සියළු කේෂ්ත්‍රයන් පිළිබඳව සිය නිලධාරීන් පුළුල්ව සිදු කළ අධ්‍යයනයකින් අනතුරුව මෙම කලාපය පිහිටුවා තිබෙන බවත් සඳහන් කරයි. මෙහි කර්මාන්ත ආරම්භ කිරිමට පෙර රේඛීය අමාත්‍යාංශ හා අනෙකුත් ආයතනයන්ගෙන්  ලබා ගත යුතු අනුමැතීන් ලබාගැනීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මැදිහත් වන බව පවසන විරකෝන් මහත්මිය වඩාත් පරිසර හිතකාමී ආයෝජන කලාපයක් ලෙස පුන්නකුඩා ආයෝජන කලාපය ස්ථාපිත කිරීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අපේක්ෂාව බවද සදහන් කරයි.

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක  අධ්‍යක්ෂ (කලාප) එම් කේ ඩී ලෝරන්ස් මහතා අදහස් දක්වමින්, කලාපයේ යටිතල පහසුකම් සංවර්ධනයට සමගාමීව කර්මාන්ත ශාලා ඉදිකිරීමට අවශ්‍ය පහසුකම් සැපයීමට පියවර ගෙන ඇතැයි පවසයි. ප්‍රවේශ මාර්ග වලින් 40% වැඩ කටයුතු නිම කර නිමකර ඇති අතර කර්මාන්ත ඉදිකිරීම සඳහා අවශ්‍ය ජලය වෙනුවෙන් දිනකට ජල කියුබික් මීටර් 1500- 2000 අතර ප්‍රමාණය ප්‍රමාණයක ධාරිතාවයක් සපුරා ඇතැයි ද පවසයි. විදුලිය ද සපයා ඇති අතර අපජල කළමනාකරණ සංකීර්ණයේ මූලික කටයුතු නිම කර ඇති බවද සදහන් කරයි.

    කේෂ්ත්‍ර චාරිකාවට එක් වූ ආයෝජකයන් පැවසුවේ වසර පනහකට  වැඩි කාලයක් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ඇඟලුම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ නිරත වන අතර අමුද්‍රව්‍ය ඉතා සුළු ප්‍රමාණයක් හැරෙන්නට සියල්ල ආනයනය කරන බවසි.

    මෙහිදී අමුද්‍රව්‍ය නිෂ්පාදනය  කරනු ලබන සියළු රටවල් ඇගැළුම් නිෂ්පාදනයේ ද නිරත වන බැවින් පවතින ගෝලීය තරගකාරී තත්ත්වය මත අමුද්‍රව්‍ය ආනයනයේ දී විවිධ අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවන බව ද ඔවුන් පවසයි .මෙවැනි රෙදිපිළි නිෂ්පාදන උද්‍යානයක් ආරම්භ කිරීම තුළින් විදේශයන්ට ගලා යන මුදල් ඉතිරි වනවා සේම නිසි කලට වෙලාවට අමුද්‍රව්‍ය සපයා ගැනීමටත් ලැබෙන ඇණවුම් සම්පූර්ණ කිරීමටත් අවස්ථාව ලැබෙන බව ඔවුන් පවසයි.