March, 27, 2023
කෝප් කමිටුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ක්‍රියා පටිපාටි අක්‍රමිකතා සහ මූල්‍ය අවභාවිතයට අදාළ සිද්ධීන් ගණනාවක් විමර්ශනය කරයි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ 2020 සහ 2021 වර්ෂවලට අදාළව විගණකාධිපති වාර්තාවෙන් මතු කර ඇති ගැටලු සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීම සදහා පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව පසුගියදා රැස්විය.
මූල්‍ය වගවීමක් නොමැති වීම සහ විගණන හා කළමනාකරණ කමිටු සාමාජිකයින් සහභාගී නොවීම හේතුවෙන් සහ පසුගිය නියෝග ක්‍රියාත්මක කිරීම සිදුනොවීමට හේතු වූ බව මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය. මෙහිදී කෝප් කමිටුව විසින් පැමිණ සිටි විශ්වවිද්‍යාල කළමණාකාරීත්වයෙන් කැපී පෙනෙන අංශ ගණනාවක් පිළිබදව කරුණු විමසන ලදී.
විශ්වවිද්‍යාල අධ්‍යයන සහායක කාර්යමණ්ඩලයේ පැමිණීමේ වාර්තාව ඉදිරිපත් කිරීමට අදාළව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ චක්‍රලේඛයක් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් කමිටුව විමසා සිටියේය. මේ සම්බන්ධයෙන් අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙස කමිටුව ඉල්ලා සිටියේය.
රජය මගින් ලබා දෙන ශිෂ්‍යත්වවලින් අධ්‍යාපනය සඳහා විදේශ ගතවන ආචාර්යවරුන් විශ්වවිද්‍යාලවලට ගෙවිය යුතු මුදල් නොගෙවීම පිළිබඳවද ගැටලුවක් මතුවිය. මෙම හිඟ මුදල් නිසි ලෙස අයකර ගැනීමට අවශ්‍ය බව කමිටුව විසින් නියෝග කළ අතර, ඔවුන්ගේ විදේශ පුහුණුවෙන් පසු අවම වශයෙන් වසර 5ක කාලයක් ශ්‍රී ලංකාවට පැමිණ මෙරට විශ්ව විද්‍යාල තුළ සේවය කිරීම සදහා උපදෙස් ලබා දෙන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට උපදෙස් දෙන ලදී.
මූල්‍ය අවභාවිතයන් රැසක් පිළිබද මෙහිදී අවධානය යොමු විය. වියදම් කරන ලද මුදලට වඩා අඩු මුදලකට මේස පන්දු මේස මිලදී ගැනීමක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුවිය. එසේම අරුණාචලම් සහ විජේවර්ධන නේවාසිකාගාර ප්‍රතිසංස්කරණය කිරීමට අවසර දුන් අධ්‍යක්ෂවරයාට ඒ අනුව වෙන් කර ඇති විශාල මුදල් ප්‍රමාණය පිළිබඳව පැහැදිලි කිරීම සඳහා කමිටුවට කැදවන ලෙසද කමිටු සභාපතිවරයා ඉල්ලා සිටියේය. තවද හිටපු රෙජිස්ට්‍රාර්වරයා අනිවාර්ය නිවාඩු යවා පසුව සේවයෙන් පහ කිරීම සම්බන්ධයෙන් ද කමිටුවේ අවධාන යොමු විය.
විශ්වවිද්‍යාල පරිශ්‍රය අවට ගොඩනැගිලි ව්‍යාපෘති සම්බන්ධයෙන් ද අවධානය යොමුවිය. නිසි සැලකිල්ලක් නොදැක්වීම සහ පිරිවැය හේතුවෙන් ඉංජිනේරු පීඨයේ මධ්‍යම ගොඩනැගිල්ලේ අත්තිවාරම පිළිබඳව සොයා බැලීම සඳහා කමිටුවක් පත් කරන ලෙස සභාපතිවරයා උපකුලපතිවරයාට නියෝග කළේය. ඊට සමගාමීව අබලන් තත්ත්වයේ පවතින යැයි කියන කලාගාරයක් දින 30ක් ඇතුළත සමඟ විශ්වවිද්‍යාල සැලසුම්වලට අනුව කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට කමිටුව විසින් නියම කරන ලදී.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ලබාදී ඇති ඉඩම් පිටස්තරයන්ට අත්පත් කර ගැනීම වැළැක්වීම සදහා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව මැනුම් කටයුතු කරන ලෙස ද සභාපතිවරයා ඉල්ලා සිටියේය.
සමෘද්ධි අමාත්‍යාංශයට බදු දී ඇති විශ්වවිද්‍යාලය සතු ගොඩනැගිලිවලින් කුලී අයකර ගෙන නොතිබීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කෙරිණි. කමිටු සභාපතිවරයා විශ්වවිද්‍යාලයට නියම කළේ තක්සේරු දෙපාර්තමේන්තුව හරහා අයවිය යුතු කුලිය සංශෝධනය කරන ලෙස හෝ දේපළ නැවත විශ්වවිද්‍යාලයට පවරා දෙන ලෙස සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටින ලෙසයි. මේ කටයුතු මාස 6 ක කාලයක් තුළ සිදුකරන ලෙසද දැනුම් දෙන ලදී.
මෘදුකාංග පද්ධතියක් සඳහා බලපත්‍ර ගාස්තුවක් අඛණ්ඩව ගෙවීම පිළිබඳව කමිටුව විමසා සිටියේය. ව්‍යාපෘතිය මීට වසර 04කට පමණ පෙර අවසන් කිරීමට නියමිතව තිබූ අතර, මෙම ගැටලුව කඩිනමින් විසඳා ඉදිරි දින 30 තුළ විසදීමට කටයුතු කරන ලෙස සභාපතිවරයා මණ්ඩලයට උපදෙස් දුන්නේය.
2018 ජනවාරි මාසයේ සිට මේ දක්වා කිසිදු විශ්වවිද්‍යාලයකට ස්වයං අරමුදල් ක්‍රියාකාරකම් හරහා උපයාගත් ආදායමෙන් 0.01%ක් ලබාදී නොමැති බව ද අනාවරණය විය.
මෙතැන් සිට මාස 03 ක කාලයක් තුළ වගවීම සහතික වෙමින් මෙම සියලු කරුණු පසුවිපරම් කරන ලෙස කාරක සභා සභාපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේය.
Video Story