පොදු ATM පද්ධතියට එන්න බැංකු පෝලිමේ

    March, 16, 2014

    මෙරට ජාතික ගෙවීම් යටිතල පහසුකම් සපයන්නා වන ලංකා ක්ලියර් විසින් මෙරට බැංකු හා මූල්‍යායතනවල ගෙවීම් හා පියවීම් ක්‍රියාවලියේ විප්ලවීය වෙනසක් ඇති කරමින් මෙරට සියළුම මූල්‍ය ආයතන වලට ඒකාබද්ධව පරිහරණය කිරීමට පසුගියදා හඳුන්වා දුන් පොදු ස්ව්‍යංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලයට (Common ATM Switch) ළඟදීම තවත් බැංකු කිහිපයක්ම එක්වීමට සූදානම් වනබව අනාවරණය වේ.

    මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා ක්ලියර් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී, සුනිමල් වීරසූරිය මහතා අප සමග පැවසුවේ මේ වනවිට, ලංකා බැංකුව, මහජන බැංකුව, සෙලාන් බැංකුව සහ යුනියන් බැංකුව මෙම ජාලයට එක්ව සිටින බවයි.

    මේ වනවිට, ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඇතුළු තවත් බැංකු කිහිපයක් මෙම ජාලයට එක්වීමට කටයුතු කරමින් සිටිනවා. අපි විශ්වාස කරනවා මේ වසර අවසන් වනවිට ස්ව්‍යංක්‍රීය ටෙලර් යන්ත්‍ර පහසුකම් භාවිතා කරන මෙරට සියළුම බැංකු මෙම ජාලයට එක්වෙයි කියා.

    මෙවැනි පොදු ටෙලර් යන්ත්‍ර ජාලයකට සියළුම බැංකු පිවිසි විට ඕනෑම ටෙලර් යන්ත්‍රයකින් අඩු ගාස්තුවක් ගෙවා ගනුදෙනු කරුවන්ට මුදල් ආපසු ලබාගැනීමේ අවස්ථාව ලැබේ.

    වීසා හා මාස්ටර් කාඩ් පහසුකම් යටතේ වෙනත් බැංකුවක ස්ව්‍යංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් මුදල් ආපසු ලබාගැනීමේදී ගනුදෙනුවකට රුපියල් 80 ක් වැනි මුදලක් ගෙවීමට ගනුදෙනු කරුවන්ට සිදුවේ.

    මෙම පොදු පද්ධතිය නිසා කුමන ටෙලර් යන්ත්‍රයකින් මුදල් ආපසු ගත්තද ගනුදෙනුවකදී වැය වන්නේ රුපියල් 15 කට ආසන්න මුදලක් පමණයි.
    යනුවෙන් වීරසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.