“පොල් ගාන්නේ නැතිව” වහාම ප්‍රතිත්‍රස්ත පනතට අවශ්‍ය සංශෝධන කරන්න – අගමැති පාර්ලිමේන්තු කමිටුවට අවධාරණය කරයි

    April, 29, 2019

    පසුගිය දා ලංකාවේ සිදුවූ සිද්ධියට අදාළ සැකකරුවන් මෙම අපරාධ කිරීමට පෙර ඔවුන්ට එරෙහිව නීතීය ක්‍රියාත්මක කිරීමට බාධාවක් වූයේ ඊට අදාළ නව නීති සම්මත කර ගැනීමට නොහැකි වූ නිසා බවත්, මේ හිඩැස පිරවීම සඳහා ප්‍රති ත්‍රස්තවාදී පනත් කෙටුම්පතට කරුණු ඇතුළත් කර තිබෙන බවත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඊයේ (28) විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී මෙසේ කියා සිටියේය.

    “මෙම ලංකාවේ සිදුවූ සිද්ධියට අදාළ සැකකරුවන් මේ අපරාධ කිරීමට පෙර ඔවුන්ට එරෙහිව නීතීය ක්‍රියාත්මක කිරීමට බාධාවක් වූයේ මේ නව නීති සම්මත කර ගැනීමට නොහැකි වූ නිසයි. මෙම කෙටුම්පත 2018 වසරේදී අප පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. දැන් මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවේ අදාළ කොමිටියේ සිරවී තිබෙනවා. මේ කොමිටියේ සිට "පොල් ගාන්නේ නැතිව" වහාම වුවමනා සංශෝධන කරන්න මම අවධාරණය කර සිටිනවා. මෙය ප්‍රමාද කිරීම තුළින් අපට මෙම ත්‍රස්තවාදීන් නීතිය යටතට ගැනීමට ඇති අවස්ථාව නැති වී ගියා. දැන්වත් අප ඒ වැඩකටයුත්ත වහාම කළ යුතුයි.“

    අග්‍රමාත්‍යවරයාගේ මෙම සම්පූර්ණ ප්‍රකාශය පහතින් දැක්වේ.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2019 අප්‍රේල් 28 වන දා කළ විශේෂ ප්‍රකාශය

    පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සතියකට පසුව කාදිනල්තුමන් පැවැත්වූ දේව මෙහෙයටත් එමෙන්ම කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේ දේව මෙහෙයටත් මා සහභාගී වුණා. මේ සතිය ඇතුළත අදාළ ප්‍රහාරය පිළිබඳ කරුණු ගණනාවක් සොයාගෙන ඒ ප්‍රහාරයට සහභාගිවූ බොහෝ දෙනෙක් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ජිහාඩ් ත්‍රස්තවාදීන් කරගෙන යන මේ ප්‍රහාරය සම්බන්ධ සැකකරුවන් වහාම හඳුනාගෙන එම සියලූදෙනා නීතිය හමුවට ඉදිරිපත් කොට මෙය වහාම අවසන් කළ යුතුව තිබෙනවා. අප ඒ සඳහා නියෝග නිකුත් කර තිබෙනවා. සමස්ත ආණ්ඩුවම එම නියෝගය ලබාදී තිබෙනවා. ජනපති, මා සහ කැබිනට් මණ්ඩලය එම නියෝගය ලබාදී තිබෙනවා. තවත් වසර 30 ක යුද්ධයක් කරන්නට අප කිසිලෙසකින්වත් බලාපොරොත්තු වන්නේ නැහැ.

    මෙම ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම් ආරම්භ කළේ පසුගිය ඉරිදා දහවල් කාලයේදීයි. අදාළ සිද්ධිය වී පැය කිහිපයක් ඇතුළත දෙමටගොඩදී ඊට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. එහිදී නිර්භීත නිලධාරීන් තිදෙනෙකුගේ ජීවිතය අහිමි වුණා. ඊට අමතරව ආරක්‍ෂක අංශයේ එක් ජීවිතයක්වත් මෙම මෙහෙයුම්වලදී අහිමිවී නොමැති බව කිව යුතුයි.

    පසුගිය සිකුරාදාත්, සෙනසුරාදාත් සමන්තුරේ, නින්දවූර්, අඩ්ඩාලච්චේනෙයි, සයින්දමරුදු ප්‍රදේශවල නිවාස කිහිපයකින් ජිහාඩ් ත්‍රස්තවාදීන් සහ ඔවුන්ගේ ආයුධ අත්පත් කර ගැනීමට හැකියාව ලැබුණා. මෙය කරන්නට හැකි වුණේ ඒ ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව ලබාදුන් ඔත්තු සහ කරුණු දැක්වීම් නිසයි. බෝම්බ සැදීම සඳහා භාවිත කරන රසායන ද්‍රව්‍ය සහ තවත් උපකරණ ගණනාවක් මේ නිවාසවලින් සොයාගැනීමට හැකියාව ලැබුණා. එක් නිවාසයක සැගවී සිටි ත්‍රස්තවාදීන් සහ ඔවුන්ගේ දරුවන් දිවිනසා ගත්තා. ඒ මෙහෙයුමේදී පහලොස් දෙනෙක් මරුමුවට පත්වූ බව අප දැනටමත් දන්නවා. තවත් කණ්ඩායමක් තුවාල ලබා රෝහල් ගතව සිටිනවා. දැන් ඒ අයත් හඳුනාගැනීමේ වැඩ කටයුත්ත සිදුවෙමින් තිබෙනවා.

    වනාතවිල්ලූවේ කරන ලද සෝදිසි කිරීමේදී හමුවූ ආයුධ අතර ටී 56 ගිනිඅවියක් ද තිබෙනවා. ගම්පොළදී ඉතා වැදගත් සොයාගැනීමක් සිදු කර තිබුණා. දැන් අදාල සැකකරුවන් රාශියක් හඳුනාගෙන තිබෙනවා. මේ සඳහා සහභාගී වූ අදාල අංශවලට ස්තඣතිය පළ කළ යුතුව තිබෙනවා.

    අපගේ බුද්ධිඅංශ හතක් තිබෙනවා. ඔවුන් පසුගිය වසර තුන හතර තුළ විදේශ බුද්ධි සේවා සමග ඉතා කිට්ටු සම්බන්ධයක් ඇති කර ගෙන වැඩකටයුතු කරගෙන යනවා. මේ කාලයේදී මීට පෙර නොතිබූ සම්බන්ධයක් ගොඩනඟාගෙන තිබෙනවා. ඊට අමතරව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ සිද්ධි පරීක්‍ෂා කරගෙන ගොස් පසුගිය සතියේදී  සැකකරුවන් බොහෝ දෙනෙක් හඳුනාගත්තා. අප අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවත් ශක්තිමත් කර තිබෙනවා. ඊට අමතරව පොලිසියත්, ත්‍රිවිධ හමුදාවත් ක්‍රියාත්මක වී සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාකර තිබෙනවා. මේ සියලූ පාර්ශ්ව සඳහා රටේ ස්තඣතිය හිමිවිය යුතුයි.

    මේ ප්‍රහාර එල්ල කර ඇත්තේ හොදින් සංවිධානය වූ කුඩා පිරිසක් බව කිව යුතුයි. ඒ අය සාමාන්‍ය මුස්ලිම් ජනතාව නොවෙයි. නොමඟ ගිය අන්තවාදී අදහස් ඇති පිරිසක් බව අවධාරණය කළ යුතුයි. මඩකලපුව වව්නතිව්හි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය කොට මොවුන් මේ අපරාධ ක්‍රියා ආරම්භ කළා. පසුගිය වසරේ නොවැම්බර් 30 වැනිදා ඔවුන් එම අපරාධය කළා. ඊට පසුව මාවනැල්ලේ බුදුපිළිම කඩා දමා කබීර් හෂීම් ඇමැතිතුමාගේ මුස්ලිම් ලේකම්වරයාට වෙඩි තැබුවා. වනාතවිල්ලූවේ ඔවුන්ගේ පුහුණු කඳවුරක් තිබුණා. මෙම කඩාකප්පල් කිරීම්, විනාශ කිරීම් ආරම්භ කළේ ඉන්පසුවයි. මෙම ක්‍රියාවන්ට විරුද්ධව අප දැන් කටයුතු කරගෙන යනවා.

    මෙරට විවිධ අධ්‍යාපන ආයතනවල නියමිත රැකියා වීසා නොමැතිව සේවය කරන ගුරුවරුන් සිටින බව වාර්තා වී තියෙනවා. ඒ සියලූ දෙනාටම රටින් පිටකිරීමට මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශයත්, ස්වදේශ කටයුතු අමාත්‍යංශයත් ක්‍රියා කරනවා. ඒ සමගම මුස්ලිම් ප්‍රජාව සමඟ අදාළ අමාත්‍යංශය සාකච්ඡා කොට විවිධ නීති සහ ගත යුතු පියවර පිළිබඳව තීරණය කොට රජයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    මුස්ලිම් ජනතාව දෙන සහයෝගය අගය කළ යුතුයි. ඔවුනට කිසිඳු හිරිහැරයක් නොකරන ලෙස මා ඉල්ලා සිටිනවා. අප සියලූම දෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස ජිහාඩ් ත්‍රස්තවාදය නැති කිරීම සඳහා ක්‍රියා කරනවා. ස්වදේශ කටයුතු ඇමැතිතුමාත්, රාජ්‍ය ආරක්‍ෂක ඇමැතිතුමාත් දෙදෙනාම එකතු වී මෙරට දේශසීමාව තුළ ඇතුළුවීම, පිටවීම, බඩු භාණ්ඩ ගෙන ඒම ආදිය අප අනුමත කර ඇති සැලැස්ම අනුව ක්‍රියාත්මක කරනවා. ඊට සම්බන්ධ සියලූම දෙපාර්තමේන්තු ද ඊට එක්වී සිටිනවා. ඉන්ටර්පෝල් සමඟ එක්ව තොරතුරු හුවමාරු කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි. දැනට එහි ප්‍රගතිය ගැන වාර්තා ලබාගෙන තිබෙනවා. ඉතිරි ප්‍රගති සමාලෝචන වැඩකටයුතු ඉතා කඩිනමින් අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා.

    අදාළ ත්‍රස්තවාදී සංවිධාන තහනම් කිරීම සඳහා දැනට හදිසි නීති ක්‍රියාත්මක කර තිබෙනවා. ලංකාවෙන් පිට සිදුවෙන ත්‍රස්තවාදී ක්‍රියාවලට, වෙනත් රටවල ත්‍රස්තවාදී කල්ලිවලට සම්බන්ධ වන ලාංකිකයන් පිළිබඳ ක්‍රියාකරන වගන්ති අපේ නීතියේ නැහැ. දණ්ඩ නීති සංග්‍රහය සීමාවී තිබෙන්නේ ලංකාවේ කරන අපරාධවලට පමණයි. 1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සීමාවී ඇත්තේ ලංකාවේ කරන ත්‍රස්තවාදී ක්‍රියාවලට පමණයි. දකුණු ඉන්දියාවේ කඳවුරුවල සිටින අයත් පසුව එම නීතියට ඇතුළත් කර ගෙන තිබෙනවා. එහි දෙවන, තුන්වන වගන්තිවල ඉතා පැහැදිලිව ඒ කරුණ සඳහන්වී තිබෙනවා.

    1974 වසරේ එංගලන්ත නීතිය අනුව මෙහිදී අප ක්‍රියා කර තිබෙනවා. එදා එම නීතියත් ක්‍රියාත්මක වුණේ උතුරු අයර්ලන්තයේ ත්‍රස්තවාදයට පමණයි.

    මේ හිඩැස පිරවීම සඳහා අප ප්‍රති ත්‍රස්තවාදී පණත් කෙටුම්පතට කරුණු ඇතුළත් කර තිබෙනවා. ප්‍රති ත්‍රස්තවාදී කෙටුම්පතේ තුන්වන වගන්තියේ කියන්නේ ඕනෑම පුද්ගලයෙක් ඕනෑම ජන කණ්ඩායමකට තර්ජනය කරනවා නම්, ලංකාවේ හෝ විදේශ ආණ්ඩුවකට නීති විරෝධීව බලපෑම් ඇති කරනවා නම්, එම ආණ්ඩු ක්‍රියා කිරීම නතර කරනවා නම්, ඕනෑම රටක භෞමික අඛණ්ඩතාවයට තර්ජනයක් කරනවා නම් ඔවුන් ලංකාවේ අපරාධයක් කරන බව එහි සඳහන් වනවා.

    මෙම ලංකාවේ සිදුවූ සිද්ධියට අදාළ සැකකරුවන් මේ අපරාධ කිරීමට පෙර ඔවුන්ට එරෙහිව නීතීය ක්‍රියාත්මක කිරීමට බාධාවක් වූයේ මේ නව නීති සම්මත කර ගැනීමට නොහැකි වූ නිසයි. මෙම කෙටුම්පත 2018 වසරේදී අප පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. දැන් මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවේ අදාළ කොමිටියේ සිරවී තිබෙනවා. මේ කොමිටියේ සිට "පොල් ගාන්නේ නැතිව" වහාම වුවමනා සංශෝධන කරන්න මම අවධාරණය කර සිටිනවා. මෙය ප්‍රමාද කිරීම තුළින් අපට මෙම ත්‍රස්තවාදීන් නීතිය යටතට ගැනීමට ඇති අවස්ථාව නැති වී ගියා. දැන්වත් අප ඒ වැඩකටයුත්ත වහාම කළ යුතුයි.

    එමෙන්ම අප නව නීති ගණනාවක් ගෙන ඒමට කටයුතු කරනවා. මෙම ජිහාඩ් ත්‍රස්තවාදය වහාම නැති කර දැමිය යුතුයි. මෙම ත්‍රස්තවාදයෙන් ක්‍රිස්තියානි ආගමට පමණක් නොව අපගේ සංස්කෘතිය අනුව මුස්ලිම් ආගම අදහන අයටත් ප්‍රශ්න ඇති වුණා. බුදුන් වහන්සේගේ ප්‍රතිමා කඩන්නට පටන් ගත්තා. හින්දු කෝවිල්වලට ප්‍රශ්න ඇති වුණා.

    මොවුන් අන්තවාදී කොටසක් බව පැහැදිලිව කිව යුතුයි. ඔවුන් කිසිම ආගමකට අයත් කොටසක් නොවෙයි. එසේ නම් මෙම අන්තවාදය ඉවත් කොට මෙවැනි දර්ශනයක් පැතිරීම වැළැක්වීම සඳහා අප ක්‍රියා කරනවා. දැන් බොහෝදුරට මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පිරිසක් මියගොස් සිටිනවා. දැන් අපට සාමාන්‍ය තත්ත්වයකට එළඹිමට හැකියාව තිබෙනවා. ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ජනතාවට ඒ පිළිබඳව දන්වාවි. එසේ නම් අප සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කරලීමට සහය වෙමු.