පොල් හා තල් ගස්වලින් රා මැදීම සඳහා බලපත්‍ර ලබාගත යුතු බවට විධිවිධානයක්

    October, 11, 2017

    මෙරට රා නිෂ්පාදනය නියාමනය කිරීමේ අරමුණින්, කිතුල් ගස් හැර රා මැදීමට යොදා ගනු ලබන පොල් හා තල් ගස්වලින් රා මැදීම සඳහා බලපත්‍ර ලබාගත යුතු බවට විධිවිධාන සලසමින් සුරාබදු ආඥාපනත සංශෝධනය කිරීමටත්, ඒ සඳහා සකස් කරනු ලැබ ඇති සුරාබදු (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    අදාළ කැබිනට් නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

    රා නිපදවනු ලබන ගසකින් රා මැදීමට හෝ රා බෑමට වලංගු බලපත්‍රයක් ලබාගත යුතු බවට විධිවිධාන සුරාබදු ආඥාපනතේ ඇතුළත්ව තිබුණි. නමුත්, පසුකාලීනව එම ආඥාපනතට සිදු කරන ලද සංශෝධන හේතුවෙන්, වර්තමානයේදී කිතුල්, තල් හා පොල් යන ගස්වලින් රා මැදීමට හෝ රා බෑමට බලපත්‍ර ලබාගත යුතු නොවේ. ඒ හේතුවෙන් ස්කාගාර, රා තැබෑරුම්, බෝතල් රා නිෂ්පාදනාගාර හා විනාකිරි නිෂ්පාදනාගාර වෙත ලැබෙන රා ප්‍රමාණය අධීක්ෂණය කිරීමේ ගැටලු මතු වී ඇති අතර, එය කෘත්‍රිම රා ඇතුළු අනෙකුත් නීතිවිරෝධී රා නිෂ්පාදනය ඉහළ යාමට ද හේතුවක් වී තිබේ.