පොලී අනුපාත අඩුකිරීම ගැන මහ බැංකු අධිපතිවරයා කතා කරයි

    April, 3, 2014

    ටික කාලයක් යනතුරු ඉදිරියේදී පොලිය අඩු කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් මහ බැංකුව පසුගිය කාලයේදී අවශ්‍ය ප්‍රමාණයට මෙරට පොලී අනුපාත අඩුකළ බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා කියයි.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අප සමග පැවසුවේ පදනම් අංක 25 ක් වැනි ප්‍රමාණ වලින් පොලිය අඩුකරනවා වෙනුවට පසුගිය කාලයේදී මහ බැංකුව විසින් වාණිජ බැංකුවල පොලී අනුපාත තීරණය වීමට බලපාන ප්‍රතිපත්ති පොලී අනුපාතය පදනම් අංක 50 කින්ම අඩුකළ බවයි.

    “ ප්‍රතිපත්ති පොලිය පදනම් අංක 25 ක් වැනි කුඩා ප්‍රමාණයකින් අඩුකරනවා වෙනුවට අපි පසුගිය වර ප්‍රතිපත්ති පොලිය පදනම් අංක 50 කින්ම අඩුකළා. මේ නිසා, ටික කාලයක් යනතුරු ප්‍රතිපත්ති පොලිය අඩුකිරීමේ අවශ්‍යතාවයක් මතු වෙන්නේ නෑ.“

    යනුවෙන් මහ බැංකු අධිපතිවරයා පැවසීය.

    වාණිජ බැංකුවල පොලී අනුපාත තීරණය වීමට බලපාන මහ බැංකුවේ පොලී අනුපාත මේ මාර්තු මාසයේදීත් වෙනස් නොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පසුගියදා තීරණය කළේය.

    මේ අනුව, මෙම පොලී අනුපාත සියයට 6.50 ක් සහ සියයට 8.00 ක් ලෙස මේ වනවිට පවතී.