පොලී වැඩිකරනවාද? මහ බැංකුවේ තීරණය සිකුරාදා

    March, 2, 2022

    2022 වසරේ දෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය මාර්තු 04 සිකුරාදා දින ප්‍රකාශයට පත් කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී.

    පවතින තත්ත්වය තුළ මහ බැංකුව මුදල් ප්‍රතිපත්තියේ දැඩි කිරීමක් සිදුකරනු ඇති බවට විශ්ලේෂකයින් විසින් පුරෝකථනය කර තිබේ.

    අද (02) දින පැවති භාණ්ඩාගර බිල්පත් වෙන්දේසියේ දී දින 91, දින 182 හා දින 364 යන බිල්පත් පොලී අනුපාතිකයන් හි දැවැන්ත ඉහළ යාමක් වාර්තා වීම මීට ආසන්නතම හේතුවයි.

    මුදල් ප්‍රතිපත්තිය යනු මිල ස්ථායීතාව ළඟා කර ගැනීම සඳහා මහ බැංකුවක් විසින් මුදලේ පිරිවැය (පොලිය) සහ මුදල් ප්‍රමාණය (මුදල් සැපයුම/ද්‍රවශීලතාව) මත බලපෑම් සිදු කරනු ලබන ක්‍රියාවලියකි.

    මේ අතර 2022 වසරේ පළමු මුදල් ප්‍රතිපත්ති විවරණය පසුගිය ජනවාරි 20 දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනය කර සිටියේය.

    එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 50 බැගින් පිළිවෙළින්, සියයට 5.50 සහ සියයට 6.50 දක්වා ඉහළ නැංවීමට තීරණය කළේය.

    මහ බැංකුව විසින් ගනු ලැබූ මෙම තීරණය ‘‘සංකෝචනාත්මක මූල්‍ය ප්‍රතිපත්තියක්“ ලෙසින් හැඳින්වේ.

    ශ්‍රී ලංකාව තුළ මුදල් ප්‍රතිපත්තිය සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීමේ වගකිව යුතු ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුව වේ. මුදල් ප්‍රතිපත්ති තීරණ ගැනීමේ ප්‍රධාන බලධාරියා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වේ.

    මුදල් මණ්ඩලය වෙත මුදල් ප්‍රතිපත්ති නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකීම දරනුයේ මිල ස්ථායීතා වගකීම භාර ව කටයුතු කරනු ලබන නියෝජ්‍ය අධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහෙයවනු ලබන මුදල් ප්‍රතිපත්ති කමිටුව (Monetary Policy Committee) විසිනි. මුදල් අංශයේ ප්‍රවණතා හා සාර්ව ආර්ථික වර්ධනයන් අධීක්ෂණය කිරීම සහ සුදුසු මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සඳහා වූ නිර්දේශ මුදල් මණ්ඩලයේ අවධානය සඳහා ඉදිරිපත් කිරීම මුදල් ප්‍රතිපත්ති කමිටුවේ ප්‍රධානතම කාර්යභාරය වේ.

    ශ්‍රී ලංකා මහ බැංකුව සතු ව මුදල් ප්‍රතිපත්ති උපකරණ ලෙස භාවිත කළ හැකි උපකරණ රාශියක් තිබේ.  ප්‍රතිපත්ති පොලී අනුපාතික, විවට වෙ‍ෙළඳපොළ කටයුතු සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය මහ බැංකුවට භාවිත කළ හැකි ප්‍රධාන උපකරණ වේ. මීට අමතර ව බැංකු අනුපාතිකය, ප්‍රතිමූල්‍ය පහසුකම්, ණය මත ප්‍රමාණාත්මක සීමා, පොලී අනුපාතික මත සීමා සහ ශිෂ්ට ප්‍රයෝග ද භාවිත කළ හැකි වේ. මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු උපකරණ තෝරා ගැනීමේ නිදහස ශ්‍රී ලංකා මහ බැංකුව සතු වේ.