පෞද්ගලික රථ වාහන ආනයන වියදම පර්මිට් නිසා වැඩිවෙලා

    February, 26, 2020

    ශ්‍රී ලංකාවට 2019 වසරේ දී පෞද්ගලික රථවාහන ආනයන සඳහා කරන ලද වියදම 2018 වසරට සාපේක්ෂව ඩොලර් මිලියන 757.9 කින් අඩු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වේ.

    2018 වසරේ දී පෞද්ගලික රථ වාහන ආනයනය සඳහා ඩොලර් මිලියන 1,573.5 ක වියදමක් ශ්‍රී ලංකාව විසින් දරා ඇති අතර එම ප්‍රමාණය 2019 වසරේ දී දැක්වෙන්නේ ඩොලර් මිලියන 815.7 ක් වශයෙනි. මෙය 48.2% ක පහළ යාමක් ලෙසින් වාර්තා වේ.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ 2019 දෙසැම්බර් මාසයේ දී ආහාරමය නොවන පාරිභෝගික භාණ්ඩ යටතේ වර්ග කර ඇති බොහෝ කාණ්ඩවල ආනයන ඉහළ ගොස් ඇති බවයි.

    ප්‍රධාන වශයෙන් සහනදායී බලපත්‍ර යටතේ රථවාහන ආනයනය කිරීමේ බලපෑම පිළිබිඹු කරමින් ලක්ෂ්‍යමය පදනම මත සැලකීමේ දී 2018 වසරේ නොවැම්බර් මාසයට පසුව ප්‍රථම වරට පෞද්ගලික රථවාහන ආනයන වියදම 2019 දෙසැම්බර් මාසයේ දී ඉහළ ගොස් තිබීම මීට හේතුවක් ලෙසින් දක්වා තිබේ.

    2018 දෙසැම්බර් මාසයේ දී පෞද්ගලික රථවාහන ආනයනය සඳහා දරන ලද වියදම ඩොලර් මිලියන 77.3 ක් ලෙසින් වාර්තා වන අතර එය 2019 දෙසැම්බර් මාසයේ දී ඩොලර් මිලියන 83.9 ක් දක්වා 8.6%කින් ඉහළ ගොස් තිබේ.