පෞද්ගලික රෝහල් නියාමන ගැසට් පත්‍රය දෙසතියකින්

    March, 6, 2018

    පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ වැඩපිළිවෙල යටතේ විවිධ ගාස්තු 193 අතුරින් පළමු අදියරේ දී ගාස්තු වර්ග 53 ක උපරිම මිල නියාමනය කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    රුපියල් මිලියන 3600 ක මුදලක් වැය කරමින් බලපිටිය මුලික රෝහල සදහා මහල් 10 කින් යුත් වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීමට මුල්ගල් තැබීමේ අවස්ථාව සදහා ඊයේ (05) පස්වරුවේ එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය.

    වෛද්‍ය වාට්ටු, හදිසි අනතුරු අංශය, දන්ත සේවා, ශල්‍යාගාර සහ රසායනාගාර ඇතුලු තවත් පහසුකම් වලින් එම වාට්ටු සංකීර්ණය සමන්විත වෙයි.
    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.
    පෞද්ගලික රෝහල් සංගමය සමග රෝහල් නියාමනය කිරීමේ වැඩපිළිවෙල පිළිබදව සාකච්ඡා කළා. KPMG ආයතනය ඉතාම විද්‍යාත්මකව මිල නියාමනය කර වාර්තාවක් නිකුත් කර තිබෙනවා. දිස්ත්‍රික්ක 25 තුල පෞද්ගලික රෝහල්, පෞද්ගලික වෛද්‍ය ආයතන 146 ක විවිධ ගාස්තු දත්ත ලබාගනිමින් මෙම වාර්තාව සකස් කර තිබෙනවා. අවසාන වාර්තාව ලබාදීමෙන් පසු මම කමිටුවක් පත් කර එය අධ්‍යයනය කිරීමෙන් පසු නිවැරදි වාර්තාව සකස් කළා. පෞද්ගලික රෝහල් කර්මාන්තය ද ආරක්ෂා කරමින් උපරිම මිල පාලනයක් සිදු කිරීමට අපි තීරණය කර තිබෙනවා. මෙහි අරමුණ රෝගීන් ආරක්ෂා කිරීමයි. විවිධ ගාස්තු 193 ක් යටතේ ගාස්තු 53 ක මිල නියාමනය කිරීමට පියවර ගන්නවා. පෞද්ගලික රෝහල් සංගමයේ යෝජනා ලබාදුන් පසු තවත් සති 02 ක් තුල අදාල ගැසට් නිවේදනය නිකුත් කරනවා. සෑම රටකම මිල නියාමනය කිරිම පිළිබදව සාකච්ඡා කරනවා. සෞඛ්‍ය සේවාව ව්‍යාපාරයක් නොවෙයි. සේවාවක් පමණයි.
    මේ අතර පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ වැඩපිළිවෙල පිළිබදව පෞද්ගලික රෝහල් සංගමය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ද සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ (05) පෙරවරුවේ පැවැත්විනි. එහිදී මෙම වැඩපිළීවෙලට පුර්ණ සහයෝගය ලබාදෙන බව එම සංගමයේ නිලධාරීන් ප්‍රකාශ කළහ. තවද පෞද්ගලික රෝහල් නියාමනය සදහා අවශ්‍ය අදහස් හා යෝජනා ලබාදෙන බව ද පෞද්ගලික රෝහල් සංගමය සදහන් කළහ. මෙම සාකච්ඡාවට අදාල ඡායාරූප මේ සමග යොමු කර ඇත.
    මෙම සාකච්ඡාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද  සිල්වා, පෞද්ගලික රෝහල් සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා ඇතුලු නිලධාරීන් එක්ව සිටියහ.