බංගලාදේශයේ ඩකා කොටස් හුවමාරුව සහ කොළඹ කොටස් හුවමාරුව අතර අවබෝධතා ගිවිසුමක්

    April, 1, 2019

    ඩකා කොටස් හුවමාරුව (DSE) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) අතර සහයෝගීතාවය නංවාලීම තුලින් දෙරටෙහි කොටස් වෙළෙඳපොළවල් අතර සංවර්ධන අවස්ථා තවදුරටත් වර්ධනය කිරිමේ අපේක්ෂාවෙන් මෙම හුවමාරු දෙක අතර අවබෝධතා ගිවිසුමකට එළඹිම පසුගියදා සිදු විය. මෙම අවබෝධතා ගිවිසුම හරහා එම රටවල් සතුව පවතින සහයෝගීතාවය, තොරතුරු සහ දැනුම් සම්භාරය හුවමාරු තුලින් බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව යන රටවල් අතර නව නිපැයුම් ප්‍රවර්ධනය, මානව සම්පත් සංවර්ධනය, ප්‍රාග්ධනය උත්පාදනය යනාදී පොදු අරමුණු සාර්ථකව මුදුන්පත් කරගැනීමට හැකි වේ.

    ඩකා කොටස් හුවමාරුවෙහි කළමනාකරණ අධ්‍යක්ෂ කේ.ඒ.එම් මජේදුර් රහමන් මහතා පවසා සිටියේ, “ ඩකා කොටස් හුවමාරු ලිමිටඩ් (DSE) සමාගම බංග්ලාදේශයේ ප්‍රමුඛතම කොටස් හුවමාරුවක් වන අතර Nasdaq, FlexTrade සහ Trapets යන ආයතනවලින් නවීන පන්නයේ තාක්ෂණවලින් පරිපුර්ණ වූ දේශීය සහ විදේශීය ආයෝජකයින්ට සුදුසු වෙළෙඳ ගනුදෙනු භුමි පරිශ්‍රයකින් සමන්විත වෙනවා. මේ වන විටත් ප්‍රධාන පෙළේ ගෝලීය ආයතන ගණනාවක් DSE ආයතනය සමඟ සම්බන්ධ වී ඊළග සංවර්ධනය ක්‍රියාවලියට කටයුතු කරනවා. පසුගිය වසරේදී චීනයේ ෂෙන්සෙන් කොටස් හුවමාරුව සහ ෂැංග්හායි කොටස් හුවමාරුව උපායමාර්ගික ආයෝජකයන් ලෙස අපත් සමඟ සම්බන්ධ වූනා. කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ ඩකා කොටස් හුවමාරු ලිමිටඩ් (DSE) අතර පවත්නා අවබෝධතා ගිවිසුම හරහා අප කොටස් හුවමාරු අතර සබඳතාවය තවදුරටත් තහවුරු කිරීමට හැකිවන නිසා දකුණු ආසියානු කලාපයේ පෙරමුණ ගෙන මෙහෙයවීමට හැකියාව ලැබෙනවා.” යනුවෙනි.

    මෙම ගිවිසුම පිළිබඳව අදහස් දක්වමින් කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන විධායක නිලධාරි රජීව බණ්ඩාරනායක මහතා පවසා සිටියේ, “අප ඩකා කොටස් හුවමාරුව (DSE) සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම මගින් අපගේ සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීමට හැකි වීම අපට සතුටට කරුණක්. අප මෑත කාලයේදී දකුණු ආසියානු කලාපයේ කොටස් හුවමාරු ඇතුළුව ආසියාවේ අනිකුත් කොටස් හුවමාරු සමඟ පුළුල් සබඳතාවයක් ගොඩනැගීමට කටයුතු කලා. රටවල් දෙකෙහි ප්‍රාග්ධන වෙළෙඳපොළවල්වලට ප්‍රතිලාභ අත්පත්කරගැනීම උදෙසා ඩකා කොටස් හුවමාරුව (DSE) සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.

    වමේ සිට දකුණට - ඩකා කොටස් හුවමාරුවෙහි අධ්‍යක්ෂ මින්හාස් මැනන් ඉමොන් මහතා, ඩකා කොටස් හුවමාරුවෙහි කළමනාකාර අධ්‍යක්ෂ කේ. ඒ. එම්. මජේදුර් රහමන් මහතා, කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන විධායක නිලධාරී රජිව බණ්ඩාරනායක මහතා, කොළඹ කොටස් හුවමාරුවෙහි උපායමාර්ග ප්‍රධානී නිල්මා සමරසිංහ මහත්මිය