බදු අය කර ගැනීමේ ක‍්‍රමවේදයන් වඩා කාර්යක්ෂම සහ විධිමත් කළ යුතුයි – ජනපති

    April, 7, 2017

    බදු අය කර ගැනීම සඳහා පවතින ක‍්‍රමවේදයන් වඩා කාර්යක්ෂම සහ විධිමත් කර ගනිමින් රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කළයුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (06) කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවති දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ 16 වන වාර්ෂික සමුළුව අමතමිනි.

    රාජ්‍ය ආයතන, ඇතැම් පෞද්ගලික ව්‍යාපාර ආයතන සහ ආයෝජන ව්‍යාපෘති තුළින් රාජ්‍ය ආදායමට එක්විය යුතු බොහෝ බදු ලැබීම්වල පවතින දුර්වලතා හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇති බව ද සඳහන් කළ ජනාධිපතිතුමා රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරමින් පොදු ජනතාවට වඩා උසස් ජීවන තත්ත්වයක් උදාකරදීමට සහ සමෘද්ධිමත් ආර්ථිකයක් ඇති කිරීමට සියලුදෙනා තම වගකීම් සහ යුතුකම් ඉටුකළ යුතු බව ද කියා සිටියේය.

    මෙරට දේශීය ආදායම් බදු සේවයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම උදෙසා එහි කාර්ය මණ්ඩලවලට අවශ්‍ය විදේශීය පුහුණු අවස්ථා ඉදිරියේදී වැඩි වැඩියෙන් උදා කර දීමට කටයුතු කරන බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

    ජාතික ආර්ථිකයේ හදවතට රුධිරය සපයන දේශීය ආදායම් බදු ක්ෂේත‍්‍රය මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කිරිම වෙනුවෙන් ඉටුකරන මෙහෙවර ද මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය.

    2007 වසරේ සිට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සඳහා සහකාර කොමසාරිස්වරු බඳවා නොගැනීමේ ගැටලුව පිළිබඳව ද මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානය යොමු කෙරුණු අතර දෙපාර්තමේන්තුව ශක්තිමත් කරමින් රජය අපේක්ෂා කරන ගුණාත්මක සේවය ලබා ගැනීම සඳහා එම බදවා ගැනීම් කඩිනමින් සිදු කළ යුතු බවත් නව බදු පනත පිළිබඳ මෙන්ම එම බඳවා ගැනීම් සහ දෙපාර්තමේන්තුවේ අනෙකුත් ගැටලු පිළිබඳ සිංහල අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව අදාළ සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් කැඳවන බව ද කියා සිටියේය.

    විශ‍්‍රාමලත් ජ්‍යෙෂ්ඨ කොමසාරිස් පී.ජී.කේ. සමරතුංග මහතා වෙත ජනාධිපතිතුමා අතින් සමරු තිළිණයක් පිළිගැන්වීම ද මෙහිදී සිදු විය.

    මුදල් අමාත්‍ය රවී කරුණානායක, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් කල්‍යාණි දහනායක යන මහත්ම මහත්මීන් ද, දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ සභාපති මහින්ද ගුණවීර මහතා ඇතුළු සාමාජික සාමාජිකවන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.