බලශක්ති වියදම් ඉහළ යාමෙන් සහ අහිතකරණ කාලගුණයෙන් ඉදිකිරීම් අංශයට බලපෑම්

    November, 1, 2023

    ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (ඉදිකිරීම්) - සැප්තැම්බර් 2023

    ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල අඛණ්ඩ පහත වැටීම පිළිබිඹු කරමින් ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 44.3ක අගයක් වාර්තා කරන ලදී. ව්‍යාපෘති කටයුතුවල අඛණ්ඩ පහත වැටීම ඉදිකිරීම් කටයුතුවල  ක්‍රියාකාරිත්වයට අඛණ්ඩව අහිතකර ලෙස බලපෑ අතර මාසය පුරා පැවති වර්ෂාව දැනට පවතින ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය අඩාල කිරීමට ද හේතු විය.

    නව ඇණවුම් සැප්තැම්බර් මාසයේදී අඛණ්ඩව පහත වැටුන ද  පහත වැටීමේ වේගය පෙර මාසයට සාපේක්ෂව අඩු විය. විශේෂයෙන් විදේශ ආධාර ලබන සමහර ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් අවස්ථාවන් ක්‍රමයෙන් විවෘත වෙමින් පැවැතිය ද ලංසු මිල ඉතා තරඟකාරී බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන් බොහොමයක් සඳහන් කරන ලදී. මේ අතර, බොහෝ සමාගම් අත්‍යවශ්‍ය කාර්ය මණ්ඩලය පමණක් පවත්වා ගැනීමට කැමැත්තක් දක්වන බැවින් සේවා නියුක්තිය පහත වැටුණි. තවද, ඉදිකිරීම් කටයුතුවල අඩුවීමට සමගාමීව, මාසය තුළ මිලදී ගැනීම් ප්‍රමාණය අඩු විය. මේ අතර, ප්‍රධාන වශයෙන් ඉල්ලුම අඩුවීම හේතුවෙන් ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය මෙම මාසය තුළදී අඩු විය.

    ප්‍රධාන වශයෙන්, ඉදිකිරීම් කටයුතුවලට අදාල ටෙන්ඩර් කටයුතු ක්‍රියාත්මක වෙමින් පැවතීම සහ රජය විසින් අත්හිටවූ ඇතැම් ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම පිළිඹද පවතින යහපත් ප්‍රවනතා  හේතුවෙන්, ඉදිරි මාස තුන සඳහා වූ අපේක්ෂාවන් ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත්, මෙහිදී බලශක්තිය ආශ්‍රිත වියදම් වැඩි වීමේ ප්‍රවණතාවය සහ අහිතකර කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඉදිකිරීමේ කටයුතුවලට ඇතිවිය හැකි බලපෑම් පිලිබඳව අදාල සමාගම් අවධාරණය කර ඇත.