බහුජාතික ඉලෙක්ට්‍රොනික හා විදුලි නිෂ්පාදන සමාගම් කිහිපයක් ශ්‍රී ලංකාවේ ස්ථාපනයට වැඩසටහනක්

    May, 9, 2020

    අපනයන වෙත වැඩි නැඹුරුවක් දක්වන දේශීය නිෂ්පාදන කර්මාන්ත සක්‍රීයව ප්‍රවර්ධනය කරන අතරම, දේශීය හා විදේශීය පාර්ශවකරුවන්ගෙන් ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය පියවර කිහිපයක් ගෙන තිබේ.

    නියාමන දුර්වලතා සහ අන්තර් නියෝජිත සම්බන්ධීකරණ ගැටලු විසඳීම මගින් තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ සේවා සැපයීම වැඩි දියුණු කිරීමට මෙන්ම ආයෝජකයින්ගේ ගනුදෙනු පිරිවැය ඉහළ නංවන ගනුදෙනුවක් සම්පූර්ණ වීමට ගතවන කාලය අඩු කරීම සඳහා ද පියවර කිහිපයක් ගන්නා ලදී. නියමිත කාලසීමාවක් තුළ අනුමැතිය ලබා දීමට ක්‍රමවේදයක් සැකසීම සහ අනුමත කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ආයෝජන මණ්ඩලය සහ අදාළ රේඛීය නියෝජිත ආයතන අතර, 2019 වසර අවසන් වන විට අවබෝධතා ගිවිසුම් 13ක් අත්සන් තබා ඇත. දේශීය වෙළෙඳපොළ ඉලක්ක කරගත් ව්‍යාපෘතිවල අපනයන ප්‍රමාණය වැඩි කිරීම දිරිගැන්වීම සඳහා ආයෝජන මණ්ඩලය විවිධ පියවර ගෙන තිබේ.

    මේ සම්බන්ධයෙන්, මින් පෙර දේශීය වෙළෙඳපොළ කෙරෙහි අවධානය යොමු කළ සමාගම්වල රේගු බදු නිදහස් කිරීම් ලබා දීම තුළින් අපනයන වෙළෙඳපොළට ප්‍රවේශ වීම දිරිගැන්වීමට ආයෝජන මණ්ඩලය විසින් පියවර ගන්නා ලදී. ආයෝජන මණ්ඩලයේ කලාප තුළ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල රැකියා ඇබෑර්තු 5,000ක් පමණ පැවතිය ද සුදුසු අයදුම්කරුවන් හිඟවීම හේතුවෙන් මෙම ඇබෑර්තු පිරවීමට සමාගම්වලට අපහසුය. එබැවින්, ආයෝජන මණ්ඩලය, රේඛීය අමාත්‍යාංශ සමඟ එක්ව ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතිවල ඇති රැකියා අවස්ථා පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා දිවයින පුරා රැකියා පොළ සහ වෘත්තීය පොළ වැඩසටහන් කිහිපයක් ද පවත්වන ලදී.

    දේශීය තොරතුරු තාක්ෂණ කර්මාන්තවලට අවශ්‍ය ආයෝජන දිරිගැන්වීම සඳහා තොරතුරු තාක්ෂණ සහ ඒ ආශ්‍රිත සේවා සපයන ඕනෑම සමාගමක් උපයා ඇති ලාභ සහ ප්‍රතිලාභ සඳහා 2020 ජනවාරි 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි ශූන්‍ය ආයතනික ආදායම් බදු අනුපාතයක් (zero Corporate Income Tax) හඳුන්වා දෙන ලදී. ආයතනික ආදායම් බදු අනුපාතය අඩු කිරීම මගින් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා ප්‍රකට ගෝලීය තොරතුරු තාක්ෂණ සමාගම් දිරිගැනුවෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    මේ අතර ටයර් සහ ඇලුමිනියම් ආහාර බහාලුම් ඇතුළු විවිධ කාර්මික නිෂ්පාදන නිපදවීම සඳහා ශ්‍රී ලංකාව තුළ කර්මාන්ත ශාලා පිහිටුවීමට පෞද්ගලික සමාගම් ගණනාවක් සමඟ ආයෝජන මණ්ඩලය ගිවිසුම් කිහිපයක් අත්සන් කළ අතර, ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉහළ යන ඉල්ලුම සපුරාලීම සඳහා විවිධ සේවා සැපයීම ද සිදුකළේය.

    අපනයන වෙත වැඩි නැඹුරුවක් දක්වන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හඳුනාගෙන ඔවුන් දිරිගැන්වීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් වෙළෙඳ පහසුකම් සපයන ලද අතර ඇසුරුම්කරණය, ලේබල් කිරීම, අපනයන මිලකරණය සහ පිරිවැය ගණනය පිළිබඳ කලාපීය මට්ටමින් අධ්‍යාපන වැඩසටහන් ගණනාවක් ද පවත්වන ලදී.

    දේශීය විදුලි සහ ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන කර්මාන්තය ගෝලීය සැපයුම් දාම හා සම්බන්ධ කිරීමේ අරමුණින් ඉලෙක්ට්‍රොනික හා විදුලි උපකරන පිළිබඳව බහුජාතික සමාගම් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ආයෝජන මණ්ඩලය එක්ව සිදුකරනු ලබන බහුජාතික සමාගම් මෙරටට ආකර්ශනය කර ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් 2019 වසරේ දී අනුමැතිය ලබා දෙන ලදී. 2022 වසර වන විට බහුජාතික ඉලෙක්ට්‍රොනික හා විදුලි නිෂ්පාදන සමාගම් 3-5 දක්වා ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ ස්ථාපනය කර ගැනීම මෙම වැඩසටහනේ අපේක්ෂාවයි. දේශිය විදුලි උපකරණ කර්මාන්තයට සෘජු විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගන්නා අතරම, රැකියා අවස්ථා නිර්මාණය කිරීම ද මෙම වැඩසටහනෙන් අපේක්ෂා කෙරේ.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ 2019 වාර්ෂික වාර්තාවෙහි මේ බව සඳහන් වේ.